Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ආර්යාවකගේ සිත පිළිසිඳුණ ක්ලිෆර්ඩ් කුසලාන

ආර්යාවකගේ සිත පිළිසිඳුණ ක්ලිෆර්ඩ් කුසලාන

Nisanka Sandeepani - 2018 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ වොරික්ෂයර් ප්‍රාන්තයේ ලෝරන්ස් ශෙරිෆ් වීදියේ පිහිටි රග්බි කොලේජියේ ඇති සමරු ඵලකයේ සටහන් වී ඇති ආකාරයට නම් 16 හැවිරිදි ඒ හිතුවක්කාර කොලු ගැටයා වන විලියම් වෙබ් එලිස් පාපන්දු ක්‍රීඩාවේ නීතිරීති තුට්ටුවකටවත් මායිම් නොකළ අයෙකි.

පාපන්දුවට පයින් ගසා එය දැළ වෙත යැවීම වෙනුවට පා පන්දුව අතට ගෙන ගෝල් කණුව වෙත දිව නොගියා නම් මේ අසිරිමත් රග්බි ක්‍රීඩාව බිහි නොවනු ඇත. 

එදා, එනම් වසර 1823 දී, එසේ උපත ලැබූ මේ අපූරු ක්‍රීඩාව දෙවියන් වහන්සේගේ සුභාරංචියක් මෙන් මුලු එංගලන්තය පුරා පැතිරී ගියේ රග්බි පාසලේ කොලු ගැටයන් අමුතු ක්‍රීඩාවක නිරතවන බවක් කියමිනි.  මේ ක්‍රීඩාව එංගලන්තයේ රග්බි පාසලේ සිටි විලියම් වෙබ් එලිස් නම් කොලුගැටයාගේ නිර්මාණයක් වූ නිසා එය ‘රග්බි’ ක්‍රීඩාව බවට පත්වූ බව අමුතුවෙන් කිව යුතු නැත. 

සියවස් දෙකකට ආසන්න දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන රග්බි ක්‍රීඩාවේ ආරම්භය සිදුවී වසර කිහිපයක් යද්දී එය එංගලන්තයේ කොලු කුරුට්ටන් අතර වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්විය. එතැනින් නොනැවතී එය සෙසු රටවලත් ප්‍රචලිත වන්නට වූයේ බ්‍රිතාන්‍යයේ  පාලනයට නතුවී තිබූ රටවල ආණ්ඩු කරන සුදු ජාතිකයන්ට මේ රග්බි ක්‍රීඩාව නැතිවම බැරි එකක් බවට පත්වීම නිසාය.

මේ අපූරු ක්‍රීඩාව මෙරටට සේන්දුවූයේ ශ්‍රී ලංකාවත් යටත් විජිතයක් බවට පත්වී තිබූ අවධියේදීය. ශ්‍රී ලංකාව ආණ්ඩු කළ සුදු ජාතිකයන්, වතු පාලකයන් ඔවුන්ගේ විවේකය ගත කිරිමට රග්බි ක්‍රීඩාවේ නිරතවෙද්දී ඔවුන්ගේ නෝනලා ඒවා නරඹමින් කාලය ගත කරනු එවකට සුලබ දසුනක් බවට පත්වී තිබූ බව ඉතිහාසයෙන් කියැවේ. 

මෙලෙස රට පුරා සුදු ජාතිකයන් තැනින් තැන රග්බි ක්‍රීඩාවේ නිරතවෙද්දී 1911 වසරේ එක්තරා දිනෙක, එවකට ලංකාවේ වැඩ බලන ආණ්ඩුකාර වරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් හියු ක්ලිෆර්ඞ් මහතාගේ බිරිය,  එලිසබෙත් ක්ලිෆර්ඞ් ආර්යාවද එය නරඹමින් සිටියාය. ඇයට  අපූරු අදහසක් පහළ විය. 

ඒ කොළඹ සුදු ජාතිකයන් සහ උඩරට සුදු ජාතිකයන් අතර රග්බි තරගයක් පැවැත්වීමටය. එපමණක් නොව ඒ තරගය ඇගේ උපන්දිනය යෙදෙන ඒ වසරේ අගොස්තු මස 26 වැනිදා කොළඹ දී පැවත්වීමට හැකිනම් එය තම සතුටට හේතු වනු ඇතැයිද ඇය සිය සැමියාට කියා සිටියාය. 

ඒ අනුව 1911 අගෝස්තුවේ එලිසබෙත් ආර්යාවගේ උපන්දිනය යෙදුණු 26 වැනිදා යුරෝපීයයන්ගෙන් සැදුම්ලත් සමස්ත ලංකා කණ්ඩායම සහ ඒකාබද්ධ හමුදා කණ්ඩායම අතර රග්බි තරගයක් පැවැත්වීමට ආණ්ඩුකාරවරයා කටයුතු යෙදුවේය. එහෙත් නොවැළැක්විය හැකි හේතුවක් මත ඒ තරගය නියමිත දිනයේ පැවැත්වීමට නොහැකිවූ අතර අන්තිමේදී ඊට සතියකට පසුව සැප්තැම්බර් මස 2 වැනිදා ‘ක්ලිෆර්ඞ් ආර්යා කුසලානය’ වෙනුවෙන් තරගයක් කොළඹදී පැවැත්විණි. 

ඒ තරගයෙන් සමස්ත ලංකා කණ්ඩායම ලකුණු 25-0 කින් පරාජය කිරීමට යුනයිටඞ් සර්විසස් (ඒකාබද්ධ හමුදා) කණ්ඩායම සමත්විය. යුනයිටඞ් සර්විසස් පිල හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වූ අතර 1914 දී ආරම්භ වූ පළමු ලෝක මහා යුද්ධය නිසා යුනයිටඞ් සර්විසස් පිලට ක්‍රීඩා කළ බොහෝ ක්‍රීඩකයන්ට කණ්ඩායමත්, ශ්‍රී ලංකාවත් අතහැර යුද වැදීමට නැවත උපන්බිම වන එංගලන්තය බලා යාමට සිදුවිය. ඒ වෙද්දී ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලිය මේ කණ්ඩායම් දෙක අතර වසර 3ක් පුරා පවත්වා තිබිණි. 

යුද්ධය නිසා වසර කිහිපයක්ම ක්ලිෆර්ඞ් ආර්යාවගේ රග්බි තරගය පැවැත්වීමට නොහැකිවිය. එය නැවතත් ආරම්භ වූයේ ශ්‍රීමත් හියු ක්ලිෆර්ඞ් මහතා නැවතත් ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වී පැමිණීමෙන් පසුව ක්ලිෆර්ඞ් ආර්යාව ඒ ගැන සිතන්නට පටන් ගැනීම නිසාය. ඒ වෙද්දී ඇය මේ තරගාවලියට පරිත්‍යාග කර තිබූ කුසලානය අතුරුදන්වී හෝ එය තැන්පත් කර තිබූ ස්ථානය සොයා ගත නොහැකිවීමෙන් තවත් කුසලානයක් තරගාවලියට පරිත්‍යාග කරමින් ඇය ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරගාවලිය 1926 දී නැවතත් ආරම්භ කළාය.

එවර කණ්ඩායම් හතරක් අතර පැවත්වෙන සිවුකොන් තරගාවලියක ජයග්‍රාහකයන්ට ක්ලිෆර්ඞ් කුසලානය තෑගී දීමට ඇයට අදහසක් පහළ විය. ඒ අනුව ලෝ කන්ටි්‍ර (පහත රට), අප් කන්ටි්‍ර (උඩරට), සිලෝනියන්ස් (ලාංකිකයෝ) සහ යුනයිටඞ් සර්විසස් (ඒකාබද්ධ හමුදා) කණ්ඩායම් හතර තරගාවලියට එක්විය. මේ සිලෝනියන්ස් රග්බි සහ ෆුට්බෝල් ක්‍රීඩා සමාජය මුලුමනින්ම ශ්‍රී ලංකාවේ උපත ලැබූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය. 

ක්ලිෆර්ඞ් ආර්යාවගේ මැදිහත්වීමෙන් එසේ දෙවැනි වතාවටත් ආරම්භ වූ මේ තරගාවලිය 1938 දෙවැනි ලෝක මහා යුද්ධය නිසා නැවතත් ඇණ හිටියේය. ඒ වෙද්දී ක්ලිෆර්ඞ් ආර්යාව මෙරට නොසිටි අතර ඔවුන් 1927 දී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබිණ. 

මේ තරගාවලිය 1926 සිට 1938 දක්වා වසර 13ක් පවත්වා තිබූ අතර කුසලානය හුවමාරු වූයේ ලෝ කන්ට්‍රි සහ අප් කන්ට්‍රි අතර පමණි. සිලෝනියන්ස් සහ යුනයිටඞ් සර්විසස් කණ්ඩායම්වලට අහළකටවත් කිට්ටුවීමට නොහැකිවිය. ඉන් අනතුරුව 1950 දී මේ තරගාවලිය නව මුහුණුවරකින් යළි ආරම්භ වූයේ කණ්ඩායම් අටක් ක්‍රීඩා කරන ලීග් තරගාවලියක් ලෙසිනි. 

මහනුවර ක්‍රීඩා සමාජය, දිඹුල මළල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය, දික්ඔය මස්කෙළිය ක්‍රිකට් සමාජය, ඌව ජිම්කානා සමාජය, කැලණිවැලි සමාජය, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, සිලෝනියන්ස් රග්බි සහ පාපන්දු සමාජය (දැන් සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. යන කෙටි නමින් හඳුන්වන්නේ එයයි)  සහ කොළඹ හොකී  සහ පාපන්දු සමාජය (දැන් සී.එච්.ඇන්ඞ් එෆ්.සී. කෙටි නමින් හඳුන්වන්නේ එයයි) 
එවර කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් ආරම්භ වූ මේ පළමු තරගාවලියේ කුසලානය දිනාගැනීමේ ගෞරවය දිනාගනු ලැබුවේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය විසිනි. ඔවුන් එවර කුසලානය දිනාගත්තේ අපරාජිතව වීම තවත් විශේෂත්වයක් විය.

වර්තමානයේ ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලියේ පමණක් නොව ලීග් තරගාවලියෙත් සිය ආධිපත්‍ය පතුරුවාලමින් සිටින මහනුවර ක්‍රීඩා සමාජය පළමු වතාවට ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 1954 දීය. එවර ඔවුන් ලකුණු 21-5 කින් පරාජයට පත්වූයේ සී.ආර්.පිලටය. ඊළඟ වසරේදිත් ඔවුන්ට අවසන් මහා තරගයේදී පරාජය උරුම කරදීමට සී.ආර්.පිල සමත්විය. 

මහනුවර ක්‍රීඩා සමාජය නැවතත් ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට තවත් සෑහෙන කාලයක් බලා සිටීමට සිදුවී තිබුණේ සී.ආර්.පමණක් නොව හැව්ලොක්ස්, සී.එච්. මෙන්ම පොලිස් ක්‍රීඩා සමාජයත් මේ විශිෂ්ට තරගාවලියේ අණසක පතුරුවමින් සිටි බැවිනි. 

මහනුවර ක්‍රීඩා සමාජය නැවත අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ  1978 දීය. එහෙත් එවරත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්ව දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදුවිය.

වසර 1961දී එවකට ‘බී‘ කාණ්ඩයේ ක්‍රීඩා කරමින් සිටි අනුබද්ධිත ක්‍රීඩා සමාජ 5 කට මේ තරගාවලියට සහභාගි වීමට ඇරයුම් කරනු ලැබීමෙන් එය ක්‍රීඩා සමාජ 13 ක තරගාවලියක් බවට පත්විය. පොලිස්, යුද හමුදාව, විශ්ව විද්‍යාලයීය, ගුවන් සහ නාවික හමුදා කණ්ඩායම් එසේ තරගාවලියට එක්වූ අතර තරගාවලියේ එතෙක් පැවැති මුහුණුවර වෙනසකට ලක්විය. ඒ අනුව වර්තමාන ලීග් තරගාවලිය මෙන් සෑම කණ්ඩායමක්ම එකිනෙකා සමග තම සත්කාරකත්වයෙන් සහ ප්‍රතිවාදී පිලේ සත්කාරකත්වයෙන් වශයෙන් තරග දෙකකට ක්‍රීඩා කළ යුතුව තිබිණි. 

මේ ලීග් තරගාවලියේ අවසානයේ හොඳම කණ්ඩායම් අට පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියක් ආකාරයට ක්ලිෆර්ඞ් කුසලානය සඳහා තරග කළ යුතුව තිබිණි. එසේ වෙනසකට භාජනය වූ මේ තරගාවලියට අවතීර්ණ වූ දෙවැනි වසරේදීම පොලිස් ක්‍රීඩා සමාජය අනුශූරයන් බවට පත්විය. එවර ශූරයන් වූයේ සී.එච්.කණ්ඩායමයි. එතෙක් කාලයක් හැව්ලොක්ස්, සී.ආර්. සහ සී.එච්. කණ්ඩායම් අතර හුවමාරු වූ මේ කුසලානයට 1970 දී සම අයිතිවාසිකම් කී පොලිස් පිල 1972 දී එය අත්පත් කරගත්තේ සී.එච්.පිල 12-9 කින් පරාජය කරමිනි. 

ඊළඟ වසරේදී පොලිස් පිල සහ යුද හමුදා කණ්ඩායම ක්ලිෆර්ඞ් කුසලානයට සම අයිතිවාසිකම් කීවේ අවසන් මහා තරගයේ ලකුණු 19-19 කින් සමවීම නිසාය.

1975 දී යුද හමුදාව ක්ලිෆර්ඞ් කුසලානය දිනාගත්තේය. ඊළඟ වසරේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නාවික හමුදා පිල සමත්විය. එහිදී ඔවුන්ට හිමිවූයේ අනුශූරතාවයයි. වසර 1977දී ගුවන් හමුදා පිල අනුශූරතාව දිනාගත්තේය.

1979 සහ 1980 දී පිට පිට ක්ලිෆර්ඞ් කුසලානය දිනාගැනීමට පොලිස් කණ්ඩායම සමත්වීම කැපී පෙනුණි. 

1984 සහ 1985 වසරවලදීත් පිට පිට කුසලානය ජයගැනීමට පොලිස් පිල සමත්විය. 1985 දී ලීග් තරගාවලිය ජෝන් ප්ලේයර් ගෝල්ඞ් ලීෆ් රග්බි තරගාවලිය ලෙස නම් කිරිමෙන් පසුව ක්ලිෆර්ඞ් කුසලානය සඳහා වෙනම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කළේය.

අද පැවැත්වෙන ආකාරයට ක්ලිෆර්ඞ් කුසලානය සඳහා පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය එසේ ආරම්භ කෙරිණි.

1986 වසරේදී පොලිස් පිල ලකුණු 10-8 කින් පරදවා කුසලානය දිනාගැනිමට ගුවන් හමුදා පිල සමත්වීම කැපී පෙනුණි. 

1992 වසරේ අවසන් මහා තරගය මහනුවර පවත්වමින් වසර 1957 න් පසුව පළමු වතාවට ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය කොළඹින් පිට පැවැත්වීමේ අවස්ථාව උදා කළේය. එසේ වූයේ එවර අවසන් මහා තරගයට මහනුවර ක්‍රීඩා සමාජය සුදුසුකම් ලැබීම නිසාය.

නිත්තවෙල පැවැති අවසන් මහා තරගයේදී පොලිස් පිල ලකුණු 22-9 කින් පරදවා පළමු වරට ක්ලිෆර්ඞ් කුසලානය දිනාගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්විය. සී.එච්. සහ සී.ආර්. කණ්ඩායම් එවර තරගාවලිය වර්ජනය කර තිබීම කැපී පෙනුණි. 

ඉන් පසුව තවත් දශක දෙකක් යනතුරු මහනුවර ක්‍රීඩා සමාජය වෙතින් ක්ලිෆර්ඞ් කුසලානය උදුරාගැනීමට කිසිවකු සමත් නොවීම විශේෂ සිදුවීමකි. මේ විශිෂ්ට ක්‍රීඩා සමාජය 1992 සිට 2005 දක්වා අඛණ්ඩව කුසලානය දිනාගත්තේය. එවකට මෙරට පැවැති යුද ගැටුම් හේතුවෙන් 1998 වසරේ තරගාවලිය අත් හැරීමට රග්බි සංගමය තීරණය කළේය. 

වසර 2006 දී මහනුවර කණ්ඩායම මේ තරගාවලියට සහභාගි නොවූ අතර එවර සී.ආර්. කණ්ඩායම කුසලානය ජයගත්තේය. එහෙත් ඉන් පසුව නැවතත් 2007 වසරේ සිට 2012 දක්වා ක්ලිෆර්ඞ් කුසලානය මහනුවර සතුවිය.

වසර 2013දී තරගාවලිය නොපැවැත්වුණු අතර 2014දී පළමුවතාවට මහනුවර පිලට කුසලානය ගිලිහී ගියේය. එවර නාවික හමුදා කණ්ඩායම කුසලානය දිනාගත් අතර හැව්ලොක්ස් පිල අනුශූරතාව දිනාගත්තේය.

වසර 2015 සිට යළිත් ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලියේ අණසක පතුරුවමින් සිටින්නේ මහනුවර ක්‍රීඩා සමාජයයි. 

කීර්තිමත් ක්ලිෆර්ඞ් කුසලානය ශ්‍රී ලංකා රග්බි පිටියට හඳුන්වා දුන් ක්ලිෆර්ඞ් ආර්යාව 1945 දී එංගලන්තයේ දී ජීවිතක්ෂයට පත්විය. ඇය එරට ජනප්‍රිය ලේඛිකාවක් බව දන්නේ අතලොස්සකි. නවකතා, වේදිකා නාට්‍ය සහ ළමා කෘති රැසක්ම ඒ අතර තිබේ. 

 


අදහස් (0)

ආර්යාවකගේ සිත පිළිසිඳුණ ක්ලිෆර්ඩ් කුසලාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.