Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක් පිලෙන් උත්සාහක දිනුම් වරුසාවක්
අන්තර් සමාජ ලීග් රග්බි

හැව්ලොක් පිලෙන් උත්සාහක දිනුම් වරුසාවක්

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන නිපෝන් පේන්ට් 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 38-15 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. මෙම තරගය කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ (26 වැනිදා) පැවැත්විණ.

තරගයේ පළමු අර්ධය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ හැව්ලොක් ක්‍රීඩකයෝ එම අර්ධය අවසන් වන විට ලකුණු 19-15 ක් ලෙස පෙරමුණ ගත්හ. සී.එච්. ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි.

තරගයේ 2 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ අවන්ත ලී, සී.එච්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු ලබාගැනීමට ආරම්භ කළ අතර රෝහිත රාජපක්ෂ එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගත්තේය. තවත් විනාඩි තුනහමාරක් ගතවන විට (6 වැනි විනාඩියේදී) සි.එච්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ ජනිඳු දිල්ෂාන්, සිය කණ්ඩායමට ආක්‍රමණශීලී ආරම්භයක් ලබාදුන්නේය.

කෙසේ වුවත් 10 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් ඩේමියන් රත්වත්තේ, හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු රැස්කිරීම ආරම්භ කළ අතර ඉන් අනතුරුව 25 වැනි විනාඩියේදී නිරෝෂන් පෙරේරාද, 31 වැනි විනාඩියේදී නිපුල් අතුකෝරලද තවත් උත්සාහක දිනුම් 2 ක් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 3 න් පළමු වැන්නේ ප්‍රවර්ථනය සන්තුෂ් අල්ගම විසින්ද, තෙවැන්නේ ප්‍රවර්ථනය ඩේමියන් රත්වත්තේ විසින්ද සාර්ථක කරගනු ලැබූහ.

පළමු අර්ධය නිමාවීමට විනාඩියක් ඉතිරිව තිබියදී (39 වැනි විනාඩියේදී) සී.එච්. ක්‍රීඩා සමාජයට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් රෝහිත රාජපක්ෂ කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය තරමක් අඩු කළේය.

දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායමට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදුන් හැව්ලොක් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම්ක් මගින් සිය කණ්ඩායමට ලකුණු එක් කළහ. රන්දිත වර්ණපුර (50 වැනි විනාඩියේදී), ක්‍රිස්ටියන් ද ලී (68 වැනි විනාඩියේදී) සහ ඩේමියන් රත්වත්තේ (78 වැනි විනාඩියේදී) හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් එහිදී උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කරගනු ලැබුවේද ඩේමියන් රත්වත්තේ විසිනි.

සී.එච්. ක්‍රීඩා සමාජයේ ගනුක දිසානායක තරගයේ 49 වැනි විනාඩියේදීද, හැව්ලොක් කණ්ඩායමේ සෙනාල් දීලක සිල්වා සහ ලසිඳු කරුණාතිලක තරගයේ 56 වැනි සහ 74 වැනි විනාඩිවලදීද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ.

තරගය තුළදී හැව්ලොක් කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 7 ක්ද, සී.එච්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 8 ක්ද සිදු කළහ.


අදහස් (0)

හැව්ලොක් පිලෙන් උත්සාහක දිනුම් වරුසාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.