Last Update  :  2024-05-06 15:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. පිලට ප්‍රසාද ලකුණ පරහට හිටියි
අන්තර් සමාජ රග්බි ලීගය

සී.ආර්. පිලට ප්‍රසාද ලකුණ පරහට හිටියි

editorial - 2024 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය නිමාවට පත්වන විට සහභාගි වූ තරග 5 ම ජයගමින් අපරාජිත බව රැකගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් වුවද, එක් ප්‍රසාද ලකුණක අඩුවක් හේතුවෙන් ඔවුන්ට සති 4 ක් පුරා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සිදුව ඇත. 

යුද හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගවලදී ප්‍රසාද ලකුණද සමග ජය ලැබීමට සී.අර්. ක්‍රීඩකයන් සමත් වුවද, ඔවුහු තරගාවලියේ දෙවැනි සතියේදී පොලිසියට එරෙහිව පැවැති තරගයෙන් ජය ලැබුවේ ප්‍රසාද ලකුණ නොමැතිවය. ඒ අනුව මේ වන විට ඔවුන් ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 29 කි. 

මෙතෙක් සහභාගි වූ තරගවලදී ප්‍රසාද ලකුණද සමග සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, යුද හමුදාව, පොලිසිය, ගුවන් හමුදාව සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කළ මහනුවර ක්‍රීඩකයන් ලකුණු 30 කට හිමිකම් කියන අතර සති 4 ක් පුරා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමටද ඔවුහු සමත්ව සිටිති. 

යම් හෙයකින් සී.ආර්. කණ්ඩායම ඔවුන්ට අහිමිවූ ප්‍රසාද ලකුණද ලබා සිටියා නම් ලකුණු 30 බැගින් කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාවන් සම වනු ඇත. එවැනි අවස්ථාවක ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිවන්නේ ක්‍රීඩා කළ තරගවලදී ප්‍රතිවාදී කණ්ඩායම් වලට එරෙහිව ලැබූ ලකුණු සහ ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලබා දුන් ලකුණුවල පරතරය වැඩි කණ්ඩායමටය. 

මේ දක්වා පැවැති තරගවලදී සී.ආර්. කණ්ඩායමේ ලැබූ ලකුණු සහ දුන් ලකුණු අතර පරතරය 140 ක් ලෙසද, මහනුවර කණ්ඩයමේ ලැබූ ලකුණු සහ දුන් ලකුණු අතර පරතරය 64 ක් ලෙසද සටහන් වේ. ඒ අනුව බලන කළ සී.ආර්. ක්‍රීඩකයෝ ඔවුන්ට අහිමිවූ ප්‍රසාද ලකුණද ලබා සිටියා නම් මේ වන විට ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනු ඇත. 

මූලික වටයේ හයවැනි සතියේදී සී.ආර්. කණ්ඩායම හැව්ලොක් කණ්ඩායමට එරෙහිවද, මහනුවර කණ්ඩායම නාවික හමුදා කණ්ඩායමට එරෙහිවද තරග වදින අතර හත්වැනි සතියේදී ඔවුන් එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. ඒ අනුව කණ්ඩායම් දෙකම හයවැනි සතියේදීද ජය ලැබුවහොත්, හත්වැනි සතියේ තරගය අවසන් මහ තරගයක ස්වරූපයක් ගනු ඇත. 

මේ වන විට තරග 3 බැගින් ජයගෙන තරග 2 ක් බැගින් පරාජය වී සිටියද ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාවන් අනුව හැව්ලොක් ක්‍රීඩා සමාජය (ලකුණු 19) ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය (ලකුණු 17) ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේද රැදී සිටියි. ජයග්‍රහණයක් සඳහා කණ්ඩායමකට හිමිවන ලකුණු සංඛ්‍යාව 5 කි. 

පස්වැනි සතියේ තරග ප්‍රතිඵල 
■ පොලිසිය ලකුණු 19-10 කින් යුද හමුදාව පරදවයි. 
■ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 57-06 කින් නාවික හමුදාව පරදවයි. 
■ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 14-10 කින් ගුවන් හමුදාව ව පරදවයි. 
■ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 27-22 කින් හැව්ලොක් ක්‍රීඩා සමාජය පරදවයි. 

 


අදහස් (0)

සී.ආර්. පිලට ප්‍රසාද ලකුණ පරහට හිටියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.