Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ රග්බි ලීග් ශූරතාව දිනති
අන්තර් සමාජ රග්බි

සී.ආර්. ක්‍රීඩකයෝ රග්බි ලීග් ශූරතාව දිනති

editorial - 2024 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 33-25 ක සටන්කාමී ජයක් වාර්තා කිරමින් ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ ශූරතාව දිනාගැනීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. මෙවර ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ වසර 26 කට පසුව වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 13-06 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුවද, දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ සී.ආර්. ක්‍රීඩකයෝ ලකුණු 27 ක් රැස්කරමින් ජයග්‍රහණය තමන් සතුකර ගත්හ. මහනුවර ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. 

තරගයේ 10 වැනි විනාඩියේදී දඬවම් පහරක් සාර්ථක කරගත් චතුර සෙනෙවිරත්න සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එහෙත් 13 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරින්ද රත්වත්තේ සාර්ථක කරගත් දඬවම් පහරත් සමග දෙපිලේ ලකුණු සම තත්වයට පත්විය. 

එතැන් පටන් විනාඩි 7 ක් ගතවන විට එනම් 20 වැනි විනාඩියේදී ලසිත අත්තනගොඩ උත්සාහක දිනුමක් වාර්තා කරමින් මහනුවර කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ, ඉන් නොනැවතී 21 වැනි විනාඩියේදී තවත් දඬවම් පහරක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමට ලකුණු 10 ක වාසියක් අත්කර දුන්නේය.

පළමු අර්ධය නිමාවට පත්වීමට විනාඩි එකහමාරක් පමණ තිබියදී (39 වැනි විනාඩියේදී) සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් චතුර සෙනෙවිරත්න සාර්ථක කරගත් දඬවම් පහරත් සමග ලකුණු තත්වය 13-06 ක් බවට පත්වූ අතර දෙවැනි අර්ධය ආරම්භ වන විට කණ්ඩායම් දෙක අතර පැවැති පරතරය ලකුණු 7 ක් දක්වාද අඩු විය. 

දෙවැනි අර්ධය ආරම්භවනවාත් සමග ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ සී.ආර්. ක්‍රීඩකයෝ, එහි දෙවැනි විනාඩියේදීම (42 වැනි විනාඩියේදී) ගෝල දිනුමක් ලබාගනිමින් යළිත් වරක් දෙපිලේ ලකුණු සංඛ්‍යාවන් සම තත්වයට පත් කළහ. ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම මාරුවෙන් මාරුවට ලකුණු රැස්කරමින් තරගයේ පෙරමුණ හුවමාරු කරගත්තේය. 

මහනුවර කණ්ඩායම වෙනුවෙන් 45 වැනි විනාඩියේදී තරින්ද රත්වත්තේද, සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් 55 වැනි සහ 61 වැනි විනාඩිවලදී රවීන් ද සිල්වා සහ ගැමුණු චේතියද, නැවතත් මහනුවර කණ්ඩායම වෙනුවෙන් 69 වැනි විනාඩියේදී ධනුෂ්ක රංජන්ද උත්සාහක දිනුම් ලබාගනිමින් සිය  කණ්ඩායම් ඉදිරියට ගෙන ගියහ. 
කෙසේ වුවත් ධනුෂ්ක ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට සමත් වූ තරින්ද රත්වත්තේ සිය කණ්ඩායමට ලකුණු 2 ක වාසියක් අත්කර දුන් අතර ඔහුගේ එම පා පහරත් සමග 70 වැනි විනාඩිය නිමාවට පත්වන විට ලකුණු 25-23 ක් ලෙස මහනුවර කණ්ඩායම ඉදිරියෙන් පසුවිය. 

තරගයේ 74 වැනි විනාඩියේදී රැන්ඩි සිල්වා ලබාගත් උත්සාහක දිනුමත් සමග සී.ආර්. කණ්ඩායම යළිත් වරක් පෙරමුණට පැමිණි අතර තරගය නිමාවීමට විනාඩියක් ඉතිරිව තිබියදී (79 වැනි විනාඩියේදී) තවත් උත්සාහක දිනුමක් ලබාගත් ලසිඳු කරුණාතිලක සී.ආර්. කණ්ඩායමේ ජයග්‍රාහී පරතරය ලකුණු 10 කින් ඉහළ දැමුවේය. 

මහනුවර කණ්ඩායමේ සුරංග කසුන් 9 වැනි විනාඩියේදීද, ශ්‍රීනාත් සූරියබණ්ඩාර 53 වැනි විනාඩියේදීද, චාල්ස් ප්‍රවීන් 78 වැනි විනාඩියේදීද, සී.ආර්. කණ්ඩායමේ මනිල්ක රුබේරු 67 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූහ. සී.ආර්. කණ්ඩායම මෙම තරගයේදී ක්‍රීඩක ආදේශ කිරීම් 5 කද, මහනුවර කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 6 කද නිරත වූහ. 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ රග්බි ලීග් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.