Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ මහනුවර අපරාජිත බව බිඳ දමති
අන්තර් සමාජ රග්බි ලීගය

සී.ආර්. ක්‍රීඩකයෝ මහනුවර අපරාජිත බව බිඳ දමති

editorial - 2024 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතියේදී කාගේත් අවධානය යොමුව තිබූ අපරාජිතයන්ගේ සටනේ ජය තමන් සතුකර ගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 38-26 ක සටන්කාමී ජයක් වාර්තා කරමිනි. 

මෙම තරගයට පෙර කණ්ඩායම් දෙකම මූලික වටයේදී සහභාගි වූ තරග 6 බැගින් ජයගෙන අපරාජිතව සිටි අතර එහිදී මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු 6 ක් සමග මුළු ලකුණු 36 ක්ද, සී.ආර්. කණ්ඩායම ප්‍රසාද ලකුණු 5 ක් සමග මුළු ලකුණු 35 ක්ද බැගින් ලබා සිටියහ. ඒ අනුව මූලික වටය අවසානයේ අපරාජිත බව රැකගැනීම සඳහා දෙපිලටම මෙම තරගයේ ජය ඉතා වැදගත් විය. 

ආරම්භයේ සිට කණ්ඩායම් දෙකම සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරත වූ අතර එහිදී උපක්‍රමශීලී අයුරින් ලකුණු ලබාගැනීමට අවස්ථාව උදාකරගත් සී.ආර්. ක්‍රීඩකයෝ, පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 26-07 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. පළමු විනාඩියේදීම උත්සාහක දිනුමක් ලබාගත් සුලක්ෂණ රුබේරු සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් තේනුක නානායක්කාර එය ගෝල දිනුමක් බවට පත් කළේය.

එතැන් පටන් 20 වැනි විනාඩිය දක්වා කණ්ඩායම් දෙකම අවස්ථා කිහිපයකදීම ලකුණු ලබාගැනීමට උත්සාහක කළද, ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්ෂාකාරී උපක්‍රම හමුවේ එම උත්සාහයන් අසාර්ථක විය. විනාඩි 19 ක ලකුණු නියඟයට තිත තැබූ තරින්ද රත්වත්තේ මහනුවර කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබාගත් අතර ඉන් නොනැවතුණ ඔහු, එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාවන් 07-07 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය. 

විනාඩි 7 නිහැඬියාවකින් පසුව උපක්‍රමශීලි අයුරින් මහනුවර කණ්ඩායමේ ආරක්ෂක විදි විධාන බිඳ දැමූ සී.ආර්. ක්‍රීඩකයෝ, විනාඩි 11 ක් තුළ උත්සාහක දිනුම් 3 ක් වාර්තා කරමින් පළමු අර්ධයේ සියලු ගෞරව තමන් සතුකර ගත්හ. අදීෂ වීරතුංග 28 වැනි විනාඩියේදීද, කවිඳු ද කොස්තා 37 වැනි විනාඩියේදීද, ගැමුණු චේතිය 39 වැනි විනාඩියේදීද එම උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථන සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් විය. 

ලකුණු 26-07 ක් ලෙස ලකුණු 19 ක් පසුපසින් සිටිමින් දෙවැනි අර්ධය ආරම්භ කළ මහනුවර ක්‍රීඩකයෝ, අළු ගසා දමා නැඟිටිමින් විනාඩි 3 ක් තුළ ගෝල දිනුම් 2 ක් වාර්තා කරමින් ලකුණු පරතරය 5 ක් දක්වා අඩුකර ගැනීමට සමත් වූහ. තරිඳු චතුරංග 43 වැනි විනාඩියේදීද, නයිජල් රත්වත්තේ 45 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගනිමින් ඒ සඳහා මහනුවර කණ්ඩායමට අවස්ථාව උදාකළ අතර එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලබුවේ තරින්ද රත්වත්තේ විසිනි. 

එතැන් පටන් විනාඩි 25 ක් පුරා මහනුවර ක්‍රීඩකයෝ සී.ආර්. කණ්ඩායම පසුකර ඉදිරියට යෑමටත්, සී.ආර්. ක්‍රීඩකයෝ ලකුණු පරතරය ඉහළ දමාගැනීමටත් වෑයම් කළහ. ඒ අතරවාරයේ පැවැති තරගකාරීත්වය කොතෙක්ද කිවතොත් 71 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායමේ තිළිණ බණ්ඩාරගේ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් සී.ආර්. කණ්ඩායමේ සුලක්ෂණ රුබේරු කම්පනයට පත්වූ අතර ඔහුට විනිසුරුගේ නිල් කාඩ්පතක් ලබා පිටියෙන් ඉවතට යෑමට පවා සිදුවිය. 

තරගයේ 74 වැනි විනාඩියේදී යළිත් ක්‍රියාත්මක වූ අදීෂ වීරතුංග සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය 10 ක් දක්වා වැඩි කළේය. මහනුවර කණ්ඩායමෙන් තරගයේ ජයග්‍රහණය තවත් ඈතට තල්ලු කළ සී.ආර්. ක්‍රීඩක කුෂාන් තරිඳු 77 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථකය සාර්ථක කරගත් තේනුක නානායක්කාර එය ගෝල දිනුමක් බවට පත් කළේය. 

අවසන් විනාඩියේදී (80 වැනි) උත්සාහක දිනුමක් ලබාගැනීමට මහනුවර කණ්ඩායමේ දිනාල් ඒකනායක සමත් වුවද, ඉන් තරගයේ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදු නොවීය. ඒ අනුව ලකුණු 12 ක පරතරයක් රඳවාගනිමින් ලකුණු 38-26 ක් ලෙස මහනුවර කණ්ඩායම පරාජය කළ සී.ආර්. ක්‍රීඩකයෝ, මහනුවර කණ්ඩායමේ මවු ක්‍රීඩාංගණය ලෙස සැලකෙන නිත්තවෙල ක්‍රීඩාංගණයේදීම ඔවුන්ගේ අපරාජිත බව බිඳදැමීමට සමත් වූහ.  
 

 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ මහනුවර අපරාජිත බව බිඳ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.