Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

editorial - 2024 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය යටතේ ඊයේ (6 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 57-06 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද සී.ආර්. කණ්ඩායමට හැකි විය. 

පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 19-06 ක් ලෙස තරගයේ පෙරමුණ ගත් සී.ආර්. කණ්ඩායම, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 38 ක් රැස් කිරීමට සමත් වූයේ එම අර්ධයේදී නාවික හමුදා ක්‍රීඩකයන්ට එක් ලකුණක් හෝ රැස්කිරීමට ඉඩක් ලබා නොදෙමිනි. 

සී.ආර්. කණ්ඩායම ගෝල දිනුම් 6 ක් සහ උත්සාහක දිනම් 3 ක් මගින් ලකුණු ලබාගනිද්දී, නාවික හමුදාව ලකුණු ලබාගත්තේ දඬුවම් පහර 2 ක් මගිනි. නාවික හමුදාව වෙනුවෙන් ස්ටීවන් සැන්සෝයි එම දඬුවම් පහර 2 සාර්ථක කරගත් අතර නාවික හමුදාවේ අපූර්ව විජේසිංහ තරගයේ 61 වැනි විනාඩියේදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඞ්පතක් ලැබීය.  

සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් රැන්ඩි සිල්වා (17 සහ 24 වැනි විනාඩිවලදී) සහ රිනේෂ් සිල්වා (68 සහ 77 වැනි විනාඩිවලදී) උත්සාහක දිනුම් 2 බැගින් ලබාගත් අතර සමිත් වර්ණකුලසූරිය (35 වැනි විනාඩියේදී), රන්දුල් සේනානායක (43 වැනි විනාඩියේදී), රවීන් ද සිල්වා (51 වැනි විනාඩියේදී), ඉරංග ආරියපාල (63 වැනි විනාඩියේදී) සහ ෂෙහාන් කැලනියන්ගොඩ (79 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. 

ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථන සාර්ථක කරගැනීමට මනිල්ක සුලක්ෂණද, තවත් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථන සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාරද සමත් වූහ. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.