Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. - මහනුවර කුසලාන ශූරතාවට ද්වන්ද සටනක
රග්බි ලීගය

සී.ආර්. - මහනුවර කුසලාන ශූරතාවට ද්වන්ද සටනක

editorial - 2024 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ කුසලාන ශූරතාව සඳහා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර ද්වන්ද සටනක් නිර්මාණය වී තිබේ. මේ වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 52 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර මහනුවර කණ්ඩායම ලකුණු 48 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවේ.

ඒ අනුව තරගාවලියේ අවසන් සතිය යටතේ එළබෙන ඉරිදා (18 වැනිදා) මෙම කණ්ඩායම් දෙක අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. සංකීර්ණයේදී පැවැත්වෙන තරගය අවසන් මහ තරගයක ස්වරූපයක් ගෙන තිබේ. මෙම තරගාවලියේදී තරගයක් ජයගන්නා කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන බැවින් ඉරිදා පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයක් මෙවර කුසලාන ශූරතාවට හිමිකම් කියනු ඇත. 

සී.ආර්. කණ්ඩායම මේ වන විට මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 4 ක් ඉදිරියෙන් සිටියද, ඉරිදා පැවැත්වෙන තරගයේදී පරාජයට පත්වුව හොත් ඔවුන්ට තරගාවලියේ ශූරතාව අහිමිවනු ඇත. මෙම කණ්ඩායම් දෙක අතර මූලික වටය යටතේ නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 38-26 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. 

සී.ආර්. කණ්ඩායම මේ දක්වා තරගාවලිය තුළ අපරාජිත බව රැකගෙන සිටින නමුත් මෙතෙක් ජයගෙන ඇති තරග 9 දී ඔවුන්ට ප්‍රසාද ලකුණ ලබාගත හැකි වූයේ තරග 7 කදී පමණි. මහනුවර කණ්ඩායම තරග 8 ක් ජයගෙන එක් තරගයක් පරාජයද වුවද, ජයගත් තරග 8 දීම ප්‍රසාද ලකුණ හිමිකර ගැනීමට ඔවුහු සමත් වූහ. 

කුසලාන ශූරතාව යටතේ පැවැත්වෙන තවත් තරගයක් සෙනසුරාදා (17 වැනිදා) සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මේ වන විට කණ්ඩායම් දෙකම ලකුණු 27 බැගින් ලබා සිටින බැවින් එම තරගයේ ජයග්‍රාහකයන් තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වනු ඇත. 

කුසලාන ශූරතාව යටතේ පැවැත්වෙන තරග 

  • 17 වැනිදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී 
  • 18 වැනිදා - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. සංකීර්ණයේදී 

 


අදහස් (0)

සී.ආර්. - මහනුවර කුසලාන ශූරතාවට ද්වන්ද සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.