Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත පීතරයෝ ජනාධිපති කුසලාන දිනති
පිළිමළුන් පිටුදැකීමේ රග්බි

ශාන්ත පීතරයෝ ජනාධිපති කුසලාන දිනති

editorial - 2023 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ප්‍රධානතම කුසලාන වන ජනාධිපති කුසලාන තමන් සතුකර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. ‍ශාන්ත පීතර විදුහල ජනාධිපති කුසලාන දිනාගත් 8 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 1995, 2006, 2007, 2008, 2010, 2018 සහ 2019 යන වසරවලදීද ඔවුන් එම කුසලානට හිමිකම් කියා තිබිණ.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයෙදී පැවැති අවසන් මහ තරගයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 25-16 ක ජයක් වාර්තා කරමින් ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීහ. තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ශාන්ත පීතර විදුහල ලකුණු 19-08 ක් ලෙස ඉදිරියෙන් පසුවිය.

පළමු අර්ධයේදී ශාන්ත පීතර විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින්ද, ඉසිපතන විදුහල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබාගත්තේය. දෙවැනි අර්ධයේදී ශාන්ත පීතර විදුහල දඬුවම් පහර 2 ක් මගින් ලකුණු 6 ක් රැස්කරද්දී, ඉසිපතන විදුහල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමගින් ලකුණු 8 ක් රැස්කළේය.

කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව අවසන් මහ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතරයෝ සමත් වූහ. ඒ අනුව මෙම වසරේදී පාසල් ලීග් රග්බි ශුරතාව මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවද දිනූ ශාන්ත පීතර විදුහල වසර පුරා සිය අපරාජිත බව රැකගැනීමටද සමත් විය.

තරගයේ 8 වැනි විනාඩියේදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමට සුදේෂ් ජයවික්‍රම සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් යුමෙත් ශිහාර ලකුණු 08-00 ක් ලෙස සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. ඉසිපතන විදුහල තරගය‍ට අවතීර්ණ වූයේ 15 වැනි විනාඩියේදී රිනේෂ් සිල්වා සාර්ථක කරගත් දඬුවම් පහරිනි.

තරගයේ 19 වැනි විනාඩියේදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම ලබාගැනීමට දුලාජ් නවෝද්‍ය සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් යුමෙත් ශිහාර එය ගෝල දිනුමක් බවට පත්කරමින් සිය කණ්ඩායම ලකුණු 14-03 ක් ලෙස ඉදිරියට ගෙන ගියේය.

පසිඳු තක්ෂිල ශාන්ත පීතර විදුහල වෙනුවෙන් 22 වැනි විනාඩියේදීද, නායක නවීන් කනිෂ්ක ඉසිපතන විදුහල වෙනුවෙන් 29 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් නමුත් ඒවා ගෝල දිනුම් බවට පත්කිරීමට යුමෙත් ශිහාරට සහ රිනේෂ් සිල්වාට නොහැකි විය. ඒ අනුව ලකුණු 19-08 ක් ලෙස පළමු අර්ධය නිමාවට පත් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 3 ක් ගතවන විට එනම් 38 වැනි විනාඩියේදී ඉසිපතන විදුහල වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් රිනේෂ් සිල්වා 19-11 ක් ලෙස ලකුණු පරතරය තරමක් අඩු ‍කළේය. එහෙත් 40 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් යුමෙත් ශිහාර 22-11 ක් ලෙස ශාන්ත පීතර විදුහලේ ලකුණු සංඛ්‍යාව ඉසිපතන විදුහ‍ලේ ලකුණු සංඛ්‍යාව මෙන් දෙගුණයක් බවට පත් කළේය.

දෙවැනි අර්ධයේදී වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීමට ඉසිපතන විදුහලේ ‍දිනූෂල හසිඳු සමත් වූ අතර 52 වැනි විනාඩියේදී ඔහු එම උත්සාහක දිනුම ලබාගත්තේය. ඒ සමගම තරගයේ ලකුණු තත්වය 22-16 ක් බවට පත්වූ අතර 65 වැනි විනාඩියේදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් යුමෙත් ශිහාර ලකුණු 25-16 ක් ලෙසින් තරගය නිමාවට පත්‍කළේය.

 

(ඡායාරූප - නිසල් බදුගේ)


අදහස් (0)

ශාන්ත පීතරයෝ ජනාධිපති කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.