Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශා. පීතර - ශා. අන්තෝනි සුපිරි වටය අරඹති
පාසල් රග්බි

ශා. පීතර - ශා. අන්තෝනි සුපිරි වටය අරඹති

editorial - 2023 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ සුපිරි වටය ආරම්භ කරමින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල මෙම මස 11 වැනිදා ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

තරගාවලියේ සුපිරි වටය සති දෙකකින් සමන්විත වන අතර පළමු සතියේ අනෙක් තරගය 12 වැනිදා කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. දෙවැනි සතියේ තරග දෙකම 19 වැනිදා පැවැත්වෙන අතර එහිදී ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව රාජකීය විදුහලත්, ශාන්ත පීතර විදුහලට එරෙහිව ඉසිපතන විදුහල තරග වදිනු ඇත.

මූලක වටයේදී කණ්ඩායම් 7 බැගින් වූ අනු කාණ්ඩ 2 ක් යටතේ තරග පැවැති අතර එහිදී ඉහළම දස්කම් දැක්වූ කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 4 ක් සුපිරි වටයට සුදුසුකම් ලැබීය. ඉසිපතන විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල ‘ඒ-1’ අනු කාණ්ඩයෙන්ද, ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල ‘ඒ-2’ අනු කාණ්ඩයෙන්ද සුපිරි වටයට පිවිසියේය.

සුපිරි වටයේදී සෑම කණ්ඩායමකටම මූලික වටයේදී තමන් නියෝජනය කළ අනු කාණ්ඩයෙන් සුපිරි වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම හැරුණු කොට සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත. මූලික වටයේදී ලබා සිටින ලකුණු සහ සුපිරි වටයේදී ලබාගන්නා ලකුණු එකතුවෙන් තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙනු ඇත.
ඉකුත් වසරේදී පැවැති පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරයන් බවට පත්වීමට ඉසිපතන විදුහල සමත් වූ අතර මෙවර සුපිරි වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අතර වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගෙන සිටින්නේද ඔවුන්ය. මූලික වටයේදී සහභාගි වූ තරග 6 ම ප්‍රසාද ලකුණද සමග ජයගෙන සිටින ඉසිපතන ක්‍රීඩකයෝ සුපිරි වටය ආරම්භ කරන්නේ මුළු ලකුණු 36 ක් සමගිනි.

සුපිරි වටයට ඇතුළත්ව සිටින කණ්ඩායම් 4 න් සෙසු අපරාජිත කණ්ඩායම වන ශාන්ත පීතර විදුහල ප්‍රසාද ලකුණු 4 ක් සමග මුළු ලකුණු 34 ක් ලබා ඉසිපතන විදුහලට වඩා ලකුණු 2 ක් පසුපසින් සිටියි. මූලික වටයේදී තරග 2 ක් පරාජයට පත්වුවද, පරාජය වූ තරග දෙකේදීද ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට සමත් වීම හේතුවෙන් රාජකීය විදුහල මුළු 26 කට හිමිකම් කියයි.

මූලික වටයේදී තරග 4 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක්ද සමග මුළු ලකුණු 24 ක් ලබා සිටින ශාන්ත අන්තෝනි විදුහල සුපිරි වටයට ඇතුළත්ව සිටින කණ්ඩායම් අතර පසුපසින්ම සිටියි. සුපිරි වටයේදී සහභාගි වන තරග 2 ම ප්‍රසාද ලකුණද සමග ජයගත්තද ඔවුන්ට ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 36 කි.

එබැවින් කණ්ඩායම් 4 ක් සුපිරි වටයට සුදුසුකම් ලබා සිටියද මෙවර ලීග් තරගාවලියේ කිරුළ දිනාගැනීම සඳහා සත්‍ය වශයෙන්ම ඇත්තේ ද්වන්ද සටනකි. ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර විදුහල එම සටනේ පාර්ශවකරුවන්ය. ඉසිපතන විදුහල මේ දක්වා 12 වරක්ද, ශාන්ත පීතර විදුහල මේ දක්වා 4 වරක්ද පාසල් රග්බි ලීග් ශූරයන් බවට පත්ව තිබේ.


සුපිරි වටයේ තරග කාල සටහන
පළමු සතිය
අගෝස්තු 11 වැනිදා - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී
අගෝස්තු 12 වැනිදා - කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී

දෙවැනි සතිය
අගෝස්තු 19 වැනිදා - කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර මහනුවර, බෝගම්බර ක්‍රීඩාංගණයේදී
අගෝස්තු 19 වැනිදා - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

ශා. පීතර - ශා. අන්තෝනි සුපිරි වටය අරඹති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.