Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ හිස් ඔසවති
ආසියානු ක්‍රීඩා - 2022

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ හිස් ඔසවති

editorial - 2023 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම අද (25 වැනිදා) පැවැති ශ්‍රේණිගතකිරීමේ තරගවලදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ලකුණු 36-10 ක් ලෙසද, පිලිපීනයට එරෙහිව ලකුණු 21-12 ක් ලෙසද ජයග්‍රහණ වාර්තා කළේය. එම ජයග්‍රහණය දෙක හේතුවෙන් සත් සාමාජික රග්බි ඉසව්වේ අවසන් ස්ථාන දෙකෙන් එකකට පත්වීමේ අවදානමින් මිදීමටද ශ්‍රී ලංකාවට හැකි විය.

ලෝක රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පනවා තිබීම හේතුවෙන් ආසියානු ඔලිම්පික් ධජය යටතේ මෙම තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට, මූලික වටයේදී සහභාගි වූ තරග දෙකම පරාජය වීම නිසා එම ඉසව්වේ 9 වැනි ස්ථානයත්, 13 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැති තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 12-10 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමග ශ්‍රී ලංකාව ලකුණු ලබාගත් අතර ඇෆ්ඝනිස්ථානය ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් දෙකක් සමගිනි. අදීෂ වීරතුංග සහ ගැමුණු ආරච්චිගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කර ගැනීමට ආකාෂ් මධුෂංක සමත් විය.

දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු 24 ක් රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන්දිම රවීන් උත්සාහක දිනුම් දෙකක්ද, ගැමුණු ආරච්චිගේ සහ ඇඩම් නිකලස් එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. රවීන් ලබාගත් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයද ඔහු විසින්ම සාර්ථක කර ගනු ලැබූ අතර සෙසු ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ තරින්ද රත්වත්තේ විසිනි.
 
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පැවැති තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 14-07 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. එහිදී ශ්‍රී ලංකාව ගෝල දිනුම් දෙකක් මගින්ද, පිලිපීනය උත්සාහක දිනුමක් මගින්ද ලකුණු ලබාගත්තේය. පළමු අර්ධයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇඩම් නිකලස් සහ රමේෂ් රුක්මාල් උත්සාහක දිනුම් ලබාගත් අතර ආකාෂ් මධුෂංක සහ තරින්ද රත්වත්තේ ප්‍රවර්ථන සාර්ථක කරගනිමින් ඒවා ගෝල දිනුම් බවට පත්කළහ.

දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් මගින් ලකුණු 7 ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී, පිලිපීනයට උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වන විට ශ්‍රී ලංකාවට එම තරගයෙන් ලකුණු 21-12 ක ජයක් හිමිවිය. දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කී හේෂාන් ජැන්සන්, එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගැනීමට සමත් විය.

ශ්‍රේණිගතකිරීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන තවත් තරග දෙකක් හෙට (26 වැනිදා) දිනයේදී පැවැත්වීමට නියමිත අතර ඉන් නේපාලයට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.35 ටද, තායිලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.55 ටද ආරම්භ වීමට නියමිතය. එම තරග දෙකද ජයගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට සත් සාමාජික රග්බි ඉසව්වේ 9 වැන් ස්ථානය හිමිකරගැනීමට හැකි වනු ඇත.

(ඡායාරූප - ආසියානු ක්‍රීඩා නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි)


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ හිස් ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.