Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby විනිසුරුවෝ පාසල් රග්බි විනිශ්චයෙන් ඉවත් වෙති

විනිසුරුවෝ පාසල් රග්බි විනිශ්චයෙන් ඉවත් වෙති

editorial - 2022 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මහනුවර ති‍්‍රත්ව විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ හැව්ලොක් පිටයේදී ඉකුත් සෙනසුරාදා පැවැති 44 වැනි කැනන් ආර්.එස්. ද සේරම් පළිහ රග්බි තරගයේදී පහරදීමට ලක්වූ විනිසුරුවන්ට සාධාරණයක් ඉටුවන තෙක් සියලූම පාසල් රග්බි තරග විනිශ්චයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ඩින්කා පීරිස් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 

ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ උපදෙස් පරිදි මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල කාන්තාවට සහ තවත් පුද්ගලයකුට එරෙහිව ඉකුත් සෙනසුරාදා (26 වැනිදා) සහ සඳුදා (28 වැනිදා) නාරාහෙන්පිට පොලිසියේ පැමිණිළි 2 ක් ගොනු කිරීමට පහරදීමට ලක්වූ විනිසුරු ඉසුරු පෙරේරා සහ සහයක විනිසුරු නුවන් ලක්ෂාන් යන මහත්වරු කටයුතු කර ඇත. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් පනවන ලෙස ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයට සහ ති‍්‍රත්ව විදුහලට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය ලිඛිතව දන්වා යවා ඇති බවද, ඒ වෙනුවෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එම පාර්ශවයන් දෙකම එකඟ වී ඇති බවද පීරිස් මහතා කියා සිටියේය. 

බ‍්‍රහස්පතින්දාට (31 වැනිදා) පෙර ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අදාල කාන්තාව සහ පුද්ගලයා පොලිසියට නොපැමිණියහොත් ඔවුන් අත්තඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව නාරාහෙන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණිළිකාර පාර්ශවයට පවසා ඇතැයිද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 

තරගයේ නියමිත වේලාව අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ කී‍්‍රඩකයන් අතර යම් නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර එහිදී ති‍්‍රත්ව විදුහලේ ඇතැම් කී‍්‍රඩකයන් සහ ඔවුන්ගේ ආධාරක පිරිස් විනිසුරුවන්ට පහරදීමටද උත්සාහ ගෙන තිබිණ. ඒ හේතුවෙන් තරගයේ ප‍්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ ඉසුරු පෙරේරා මහතා ඇතුළු විනිසුරුවන් පිරිස කී‍්‍රඩාංගණයෙන් ඉවතට ගොස් ඇත්තේ නිලධාරීන් පිරිසකගේ රැකවල් මධ්‍යයේය. 

එම අවස්ථාවේදී ති‍්‍රත්ව කී‍්‍රඩකයකුගේ සහෝදරියක යැයි කියන කාන්තාවක් රැුකවල් අතරින් රිංගා ප‍්‍රධාන විනිසුරුවරයාගේ කම්මුලට පහරක් ගසන අයුරු දැකගත හැකි විය. එම සිදුවීම සටහන් වීඩියෝ කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේද දිගින් දිගටම සංසරණය විය. ති‍්‍රත්ව කී‍්‍රඩක තිදස් තන්තී‍්‍රගේ විසින් පහරදීම කරනු ලැබූ කාන්තාවට සහ තවත් කාන්තාවකට ඊට මිනිත්තු කිහිපයකට පෙර කී‍්‍රඩාංගණයෙන් ඉවතට යන ලෙස පවසන අයුරුද එක් වීඩියෝවක සටහන්ව තිබිණ. 

මෙම තරගයේදී අනතුරු දායක වැළැක්වීම්වල නිරත වීම හේතුවෙන් ති‍්‍රත්ව කී‍්‍රඩකයන් වන ලිත්මාල් මොරගොඩද සහ අෂේන් විජේසූරියද, සාන්ත තෝමස් කී‍්‍රඩක ලෂාන්ද්‍ර ද සිල්වාද කහ කාඞ්පත් ලැබූහ.  බිම වැටී සිටි සාන්ත තෝමස් කී‍්‍රඩකයකුගේ හිසට පයින් පහරදීම හේතුවෙන් ති‍්‍රත්ව කී‍්‍රඩක ලෝෂික විජේකෝන්ටද, කලබලකාරී ලෙස විනිසුරු සමග වාද කිරීම හේතුවෙන් ති‍්‍රත්ව කී‍්‍රඩක තිදස් තන්තී‍්‍රගේටද විනිසුරුවරයා කහ කාඞ්පත් නිකුත් කළේය. 

කොළඹ ඉසිපතන විදුහලේ හිටපු රග්බි කී‍්‍රඩකයකු වූ ඉසුරු පෙරේරා මහතා, 2017 වසරේදී ශ්‍රී ලංකා රග්බි සංගමය සමග එක්ව ඇති අතර 2019 වසරේ සිට ඔහු ‘ඒ’ කාණ්ඩයේ විනිසුරුවරයකු ලෙස කරයුතු කරයි. 2017 වසරේදීම එම සංගමය සමග එක්ව ඇති නුවන් ලක්ෂාන් මහතා ‘සී’ කාණ්ඩයේ විනිසුරුවරයෙකි. 

 


අදහස් (0)

විනිසුරුවෝ පාසල් රග්බි විනිශ්චයෙන් ඉවත් වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.