Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි ස්ථාවරකරණ කමිටුව අහෝසියි

රග්බි ස්ථාවරකරණ කමිටුව අහෝසියි

editorial - 2023 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

රග්බි ක්‍රීඩාවේ ජාතික සම්මේලනය වන ‘ශ්‍රී ලංකා රග්බි’ (සම්මේලනයේ) ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා, එහි කටයුතු සොයා බැලීම සහ පවත්වාගෙන යාමට පත්කරන ලද ‘රග්බි ස්ථාවරකරණ කමිටුව’ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අහෝසි කරනු ලැබ තිබේ. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (25 වැනිදා) නිකුත් කරන ලදි. 

“රග්බි ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා, තාවකාලික කාර්ය ක්‍රමයක් වශයෙන් එකී සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත්කිරීම සඳහා නිකුත් කර ඇති අංක 2327/07 දරන හා 2023.04.11 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මෙයින් අවලංගු කරමි” යයි 2023 සැප්තැම්බර් මස 25 වැනිදා නිකුත් කරන ලද අංක 2351/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සටහන් වේ. 

ඒ අනුව ශ්‍රී ලංකා රග්බි ආයතනය නැවතත් බලාත්මක වන බව ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා පැවසීය. 
රිස්ලි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා රග්බි (සම්මේලනයේ) කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා ඇමතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය බලාත්මක වීම අත්හිටුවාලමින්, පසුගිය ජූලි මාසයේදී අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි. 

දේශපාලනික මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි (සම්මේලනය) මේ වන විටත්, ලෝක රග්බි (සම්මේලනය) සහ ආසියානු රග්බි (සමුළුව) යන දෙකින්ම තහනමට ලක්කර තිබේ. එහෙත් රිස්ලි ඉල්ලියාස් මහතා කියා සිටියේ හැකි ඉක්මනින් විධායක කමිටු රැස්වීමක් කැඳවා ආසියානු සහ ලෝක රග්බි පාලනාධිකාරීන් වෙත තමන්ගේ තත්ත්වය පැහැදිළි කරන බවයි. 


අදහස් (0)

රග්බි ස්ථාවරකරණ කමිටුව අහෝසියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.