Last Update  :  2025-05-05 11:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාවට පහසු ජයක්

යුද හමුදාවට පහසු ජයක්

යොහාන් භාසුර - 2020 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග ආරම්භ කරමින් රත්මලාන ගුවන් හමුදා පිටියේදී අද (31) පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 28-13 කින් ගුවන් හමුදාව පරාජය කිරීමට සමත් වූහ. යුද හමුදා පිල මෙවර තරගාවලියේ තරග නවයකදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වේ.

යුද හමුදාව මෙම ජයග්‍රහණයට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවිය.
යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 8-6 ක් ලෙස ලකුණු දෙකකින් ඉදිරියෙන් සිටියේය. චරිත් ප්‍රනාන්දු පස්වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර සාර්ථක කිරීමෙන් යුද හමුදාව ලකුණු 3-0 කින් පෙරමුණට පැමිණියේය.

ගුවන් හමුදා පිලට 27 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ගයන්ත ඉද්දමල්ගොඩ සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 3-3 ක් ලෙස සමවිය. මධුසංඛ චන්ද්‍රසේකර 33 වැනි මිනිත්තුවේදී යුද හමුදා පිලට පළමු උත්සාහක දිනුම එකතු කරමින් ලකුණු 8-3 ක් ලෙස යුද හමුදාව පෙරමුණෙන් තැබීය. ගයන්ත ඉද්දමල්ගොඩ ඉන් මිනිත්තු හතරකට පසුව ගුවන් හමුදාවට දෙවැනි දඩුවම් පහර සාර්ථක කරමින් ලකුණු පුවරුව 8-6 ක් බවට පත්කරමින් පරතරය ලකුණු දෙකක් බවට පත්කළේය.

ෆීජි ක්‍රීඩක තොමාසි රවොයුවො දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී යුද හමුදා පිලට එකතු කළ උත්සාහක දිනුමෙන් පරතරය වැඩි කරගැනීමේ අවස්ථාව උදාවිය. ඒ අනුව ලකුණු තත්ත්වය 13-6 ක් බවට පත්විය.

ගුවන් හමුදා පිලේ විදේශ ක්‍රීඩක ටිටොඕයුයා ජේම්ස් 56 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ගයන්ත ඉද්දමල්ගොඩ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 13-13 ක් ලෙස සමවිය.

යුද හමුදාව 60 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු 15 ක් තුළ උත්සාහක දිනුම් තුනකින් ලකුණු 15 ක් රැස්කිරීමෙන් ගුවන් හමුදා පිලෙන් තරගය ඈත්විය. එහිදී අෂාන් බණ්ඩාර, අරවින්ද කරුණාරත්න සහ සචින් ගමගේ උත්සාහක දිනුම බැගින් යුද හමුදා පිලට එකතු කිරීමට සමත් වූහ.

මෙහිදී යුද හමුදා පිල වෙතින් ගෝල ප්‍රවර්ථන තුනම අසාර්ථක වීම කැපී පෙනුණි.
යුද හමුදාව ලකුණු 28-13 ක් ලෙස පෙරමුණ ගැනීමෙන් පසුව ඉතිරි මිනිත්තු පහ ගතකිරීම එතරම් ගැටලුවක් නොවීය.

මෙම තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩක නුවන් පෙරේරාට රතු කාඞ්පතින් අවවාද කරමින් තරගයෙන් ඉවත් කරන ලදි. තරගයේ 77 වැනි මිනිත්තුවේදී විනිසුරු ගිහාන් යටවර මහතා විසින් නුවන් ක්‍රීඩාංගණයෙන් ඉවත් කරන ලදී.

නුවන් ක්‍රීඩාවට නොගැළපෙන ආකාරයේ වචන පාවිච්චි කළේ යැයි චෝදනාව එල්ල විය. මෙම රතු කාඞ්පත් අවවාදයත් සමඟ නුවන්ට ඉදිරි තරග දෙකක හෝ තුනක තහනමක් පැනවීමට අවස්ථාව තිබේ.   

 


අදහස් (0)

යුද හමුදාවට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.