
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) පස්වැනි සතියේ තරගයක් ලෙස ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර අද (12 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 26-17 ක ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය. යුද හමුදාව මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට දෙපිලම ලකුණු 12 බැගින් ලබා සම තත්වයේ පසුවිය. එහිදී කණ්ඩායම් දෙකම ගෝල දිනුමක් සහ උත්සාහත දිනුමක් බැගින් වාර්තා කරමින් ලකුණු ලබා ගත්තේය.
පළමු අර්ධයේදී යුද හමුදාව වෙනුවෙන් ඉජාස් අහමඩ් සහ නාලක මධුරංග උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට දිනේෂ් වික්ටර් සමත් විය. ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ධනංජය යොහාන් සහ නිස්රාන් මොහොමඩ් උත්සාහක දිනුම් වාර්තා කරද්දී, ඉන් එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගනු ලැබුවේ දිල්ෂාන් මධුෂංක විසිනි.
කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී තරමක් ආක්‍රමණශීලී අයුරින් තරග වැදුණු යුද හමුදා ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 2 ක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 14 ක් එක්කර ගැනීමට සමත් වූහ. එහිදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන්ට උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව ලකුණු 26-17 ක් ලෙස තරගය ජය ගැනීමට යුද හමුදාව හැකි විය.
දෙවැනි අර්ධයේදී යුද හමුදාව වෙනුවෙන් විනෝද් කුමාර් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළ අතර ප්‍රවර්ථන සාර්ථක කරගත් දිනේෂ් වික්ටර් එම උත්සාහක දිනුම් දෙකම ගෝල දිනුම් බවට පත් කළේය. ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි අර්ධයේදී වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීමට ටෙරාන් කරුණානායක සමත් විය.


ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.