
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) පළමු සතියේ තරගයක් ලෙස යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර අද (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24-19 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය.
රත්මලාන ගුවන් හමුදා ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට යුද හමුදා ක්රීඩකයෝ ලකුණු 12-10 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. එහිදී ඔවුහු ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදා ක්රීඩකයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.
එහෙත් දෙවැනි අර්ධයේදී ආක්රමණශීලී ක්රීඩා විලාශයක නිරත වූ ගුවන් හමුදා ක්රීඩකයෝ ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලකුණු 14 ක් රැස්කිරීමට සමත් වෙද්දී, යුද හමුදා ක්රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව ලකුණු 24-19 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට ගුවන් හමුදා ක්රීඩකයෝ සමත් වූහ.
ගුවන් හමුදා කණ්ඩායමේ ශාමික කෞෂාන් උත්සාහක දිනුම් දෙකක්ද, මලීෂ වීරකෝන් එක් උත්සාහක දිනුමක්ද ලබාගත් අතර එම උත්සාහක දිනුම් තුනේම ප්රවර්ථනයන් සහ දඬුවම් පහර සාර්ථක කරගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් විය.
යුද හමුදාව වෙනුවෙන් තිලිණ පුෂ්පකුමාර, ලක්ෂාන් ජයවික්රම සහ ඉජාස් අහමඩ් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 2 ක ප්රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ ළහිරු රත්නායක විසිනි.
මෙම තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ ශාමික කෞෂාන් නීති විරෝධී ක්රීඩා විලාශය හේතුවෙන් විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලබා විනාඩි 10 ක් පිටියෙන් ඉවත්ව සිටියේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.