Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ජය ලබති
අන්තර් සමාජ පළමු පෙළ

මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ජය ලබති

editorial - 2024 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)
අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ කුසලාන වටය යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී සෙනසුරාදා (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 32-24 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය රැකගැනීමටද මහනුවර කණ්ඩායමට හැකි විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 18-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් වුවද, දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩ‍කයෝ ලකුණු 20 ක් රැස්කරමින් තරග‍යේ ජයග්‍රහණය තමන් සතුකර ගත්හ. දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි.

පළමු අර්ධයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළ අතර සී.එච්. කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගිනි. දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායම දඬුවම් පහර 2 කට සීමා කළ මහනුවර ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 2 ක් ලබාගනිමින් සහ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත්හ.  

එහිදී මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් සනුෂ්ක අබේවික්‍රම (7 වැනි විනාඩියේදී), වජිඩ් ෆවුමි (10 වැනි විනාඩියේදී), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (55 වැනි විනාඩියේදී) සහ තරින්ද රත්වත්තේ (58 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථන සහ මහනුවර කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක් (74 වැනි සහ 81 වැනි විනාඩිවලදී) සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය.

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම වෙනුවෙන් නිරෝෂ් පෙරේරා 10 වැනි විනාඩියේදීද, ජනිත් ලක්සර 20 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය මෙන්ම 32 වැනි, 37 වැනි, 42 වැනි සහ 53 වැනි  විනාඩිවලදී සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 4 ක්ද සාර්ථක කරගනු ලැබු‍වේ හිරුෂ නෙත්මින විසිනි.

මෙම තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජයේ දිලුක්ෂ දංගේ (70 වැනි විනාඩියේදී) සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ හිරුෂ නෙත්මින (55 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මහනුවර කණ්ඩායම මෙම තරගයේදී ක්‍රීඩක ආදේශ කිරීම් 5 කද, සී.එච්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 4 කද නිරත වූහ.


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.