Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියර හෙට කොළඹදී

බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියර හෙට කොළඹදී

editorial - 2023 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාසල් කණ්ඩායමක් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික රග්බි තරග අතරින් පැරණිම මෙන්ම වැඩි දෙනකුගේ අවධානය දිනාගත් තරගාවලිය වන බ්‍රැඩ්බි පළිහ තරගයේ දෙවැනි අදියර හෙට (5 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය පැවැත්වෙන්වෙන් 77 වැනි වරට වන අතර මෙතෙක් පැවැති තරගාවලීන්හිදී ත්‍රිත්ව විදුහල ජයග්‍රහණ 39 ක්ද, රාජකීය විදුහල ජයග්‍රහණ 35 ක්ද ලබා සිටියි.

මෙවර තරගාවලියේ පළමු අදියර ජූලි මස 22 වැනිදා පල්ලේකැළේ ත්‍රිත්ව විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඉන් ලකුණු 13-10 ක තියුණු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය. එහි පළමු අර්ධය අවසානයේ ලකුණු 10-00 ක් ලෙස ත්‍රිත්ව විදුහල පෙරමුණ ගත්තේය. දෙවැනි අර්ධයේදී රාජකීය විදුහල ලකුණු 10 ක් රැස්කළද, එහිදී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වීමත් සමග තරගයේ ජය ඔවුන් සතු විය.
 
මෙවර අන්තර් පාසල් රග්බි ලීගයේ මූලික වටයේදී සහභාගි වූ තරග 6 න් 4 ක් ජයගත් රාජකීය විදුහල ප්‍රසාද ලකුණු 6 ක්ද සමග ලකුණු 26 ක් ලබා සුපිරි වටයට සුදුසුකම් ලබාගත්තේය. එහෙත් සහභාගි වූ තරග 5 න් 3 ක් ජයගත් ත්‍රිත්ව විදුහලට සුපිරි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. මූලික වටයේදී ත්‍රිත්ව විදුහල සහ සහිරා විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයට ත්‍රිත්ව විදුහල සහභාගි නොවීම හේතුවෙන් සහිරා විදුහලට නිතරග ජයක් හිමිවිය.

ත්‍රිත්ව විදුහල අවසන් වරට බ්‍රැඩ්බි පළිහ ජයගත්තේ 2014 වසරේදී තරින්ද රත්වත්තේගේ නායකත්වය යටතේය. 2015 වසරේදී භානුක ගමගේගේ නායකත්වය යටතේ බ්‍රැඩ්බි පළිහ ජයගත් රාජකීය විදුහල එතැන් පටන් මේ දක්වාම බ්‍රැඩ්බි තරගාවලියේ අපරාජිතව සිටියි.

2016 වසරේදී ලකුණු 35-35 ක් ලෙස අදියර දෙක සමව අවසන් විය. 2020 සහ 2021 වසර වලදී කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය නොපැවැති අතර පසුගිය වසරේදී (2022) කවීන් සසංකගේ නායකත්වය යටතේ රාජකීයෝ බ්‍රැඩ්බි පළිහ දිනාගත්හ.


අදහස් (0)

බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියර හෙට කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.