Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby බඳුන ශූරතාව ශාන්ත අන්තෝනි විදුහලට
අන්තර් පාසල් රග්බි ලීගය

බඳුන ශූරතාව ශාන්ත අන්තෝනි විදුහලට

editorial - 2025 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අද (1 වැනිදා) සමත් විය. තරගාවලිය නිමා වීමට තවත් සතියක් ඉතිරිව තිබියදීම ශාන්ත අන්තෝනි විදුහල බඳුන ශූරතාවට හිමිකම් කීම කැපී පෙනුණ සිදුවීමක් බවටද විය. 

මේ වන විට බඳුන ශූරතාව යටතේ තරග 4 කට සහභාගි වී සිටින ශාන්ත අන්තෝනි විදුහල එම තරග 4 ම ප්‍රසාද ලකුණද සමග ජය ගැනීමට සමත්ව ඇත්තේ මුළු ලකුණු 24 කට හිමිකම් කියමිනි. ඒ අනුව අවසන් සතියේදී බඳුන ශූරතාව යටතේ තරග වදින කුමන කණ්ඩායමක් කුමන තරගයක් ජය ගත්තද ඔවුන්ට ශාන්ත අන්තෝනි විදුහල අභිබවා යෑමට නොහැකි වනු ඇත. 

දෙවැනි වටයේ තෙවැනි සතිය ආරම්භ කරමින් කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීර්ණ වූ ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ, එම තරගයෙන් ලකුණු 40-07 ක විශිෂ්ඨ ජයක් ලැබූහ. එහිදී ශාන්ත අන්තෝනි විදුහල ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර තර්ස්ටන් විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. 

තරගය ආරම්භ වී විනාඩි 3 ක් ගතවන විට ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබාගැනීමට දිනුක ජයසුන්දර සමත් වූ අතර එතැන් පටන් විනාඩි 8 ක් ගතවන විට එනම් 11 වැනි විනාඩියේදී දෙවැනි උත්සාහක දිනුම ලබාගැනීමට රවිඳු ග්‍රෙගරි සමත් විය. එම උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ කල්ප ලක්මිණ විසිනි. 

තරගය පුරා තර්ස්ටන් විදුහල වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීමට සිතිජ ජයතිලක සමත් වූ අතර 23 වැනි විනාඩියේදී වාර්තා වූ එම උත්සාහක දිනුම ගෝල දිනුමක් බවට පත් කරනු ලැබුවේ මිනුල යද්දෙහිගේ විසිනි. පළමු අර්ධය නිමා වීමට මත්තෙන් 29 වැනි විනාඩියේදී ඔමිත දිසානායක ලබාගත් උත්සාහක දිනුමත්, කල්ප ලක්මිණගේ ප්‍රවර්ථනයත් හේතුවෙන් ශාන්ත අන්තෝනි විදුහලේ ලකුණු සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගියේය. 

ලකුණු 21-07 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් දෙවැනි අර්ධය ආරම්භ කළ ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් 41 වැනි විනාඩියේදී අවන් ඒකනායකද, 46 වැනි විනාඩියේදී කල්ප ලක්මිණද, 55 වැනි විනාඩියේදී රන්දීර් පෙරේරාද උත්සාහක දිනුම් වාර්තා කළහ. ඉන් තමා ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය හැර සෙසු ප්‍රවර්ථන දෙකම සාර්ථක කරගැනීමට කල්ප ලක්මිණට හැකි විය. 


අදහස් (0)

බඳුන ශූරතාව ශාන්ත අන්තෝනි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.