Last Update  :  2025-08-07 17:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පළඟ ශූරතාවට තුන් කොන් සටනක්
අන්තර් පාසල් රග්බි ලීගය

පළඟ ශූරතාවට තුන් කොන් සටනක්

editorial - 2025 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි අවසන් සතිය ආරම්භ වන විට එහි පළඟ ශූරතාව සඳහා කොළඹ ඩී.එස්. සේනානායක, මරදාන ශාන්ත ජෝෂප් සහ මහනුවර කින්ස්වුඩ් යන විදුහල් අතර තුන් කොන් සටනක් නිර්මාණය වී තිබේ. අවසන් සතියේ තරග හෙට (7 වැනිදා) සිට 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. 

ඩී.එස්. සේනානායක විදුහල මේ වන විට පළඟ ශූරතාව යටතේ තරග 4 කට සහභාගි වී එම තරග 4 ම ජය ලබා ප්‍රසාද ලකුණු 3 ක්ද සමග මුළු ලකුණු 23 ක් හිමිකම් කියමින් ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටියි. අවසන් සතියේදී (10 වැනිදා) ඔවුන් කින්ස්වුඩ් විදුහලට එරෙහිව තරග වැදීමට නියමිතය. 

ශාන්ත ජෝෂප් සහ කින්ස්වුඩ් විදුහල් තරග 3 බැගින් ජය ලබා සිටියද, පිළිවෙලින් ප්‍රසාද ලකුණු 5 කට සහ 3 කට හිමිකම් කීම හේතුවෙන් එම දෙවිදුහල් මුළු ලකුණු 20 ක් සහ 18 ක් බැගින් ලබා ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්ව තිබේ. ශාන්ත ජෝෂප් විදුහල අවසන් සතියේදී (9 වැනිදා) තරග වදින්නේ කොළඹ ආනන්ද විදුහලට එරෙහිවය. 

ඒ අනුව ඩී.එස්. - කින්ස්වුඩ් තරගය ජයගැනීමට ඩී.එස්. ක්‍රීඩකයන් සමත් වුවහොත් ඔවුන්ට නිසැකවම මෙවර පළඟ ශූරතාවට හිමිකම් කීමට අවස්ථාව උදාවනු ඇත. එහෙත් ඩී.එස්. ක්‍රීඩකයන් එම තරගය පරාජයට පත්වුව හොත් ඔවුන්ට කිසිසේත්ම පළඟ ශූරතාව දිනාගැනීමට නොහැකි වනු ඇත. 

එවිට ශාන්ත ජෝෂප් විදුහලට සහ කින්ස්වුඩ් විදුහලට පළඟ ශූරතාව කරා යෑමට අවස්ථාව විවෘත වන අතර ශාන්ත ජෝෂප් - ආනන්ද තරගය ජය ගැනීමට ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන් සමත් වුවහොත් ඔවුන් පළඟ ශූරතාවේ හිමිකරුවන් බවට පත්වනු ඇත. එහෙත් ඩී.එස්. විදුහල මෙන්ම ශාන්ත ජෝෂප් විදුහලද අවසන් සතියේදී පරාජයට පත්වුව හොත් පළඟ ශූරතාව කින්ස්වුඩ් විදුහල සතුවනු ඇත. 

අවසාන සතිය ආරම්භ වීමටත් මත්තෙන් තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහලත්, බඳුන ශූරතාව දිනාගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් සමත්ව සිටියි. එබැවින් අවසන් සතියේ පැවැත්වෙන තරගවල ප්‍රතිඵල වලින් එම ශූරතා දෙකෙහි කිසිදු වෙනසක් සිදු නොවනු ඇත. 


අදහස් (0)

පළඟ ශූරතාවට තුන් කොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.