ෂේන් සෙනෙවිරත්න
මහනුවර ක්‍රීඩා සමාජයත් සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජයත් අතර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවති රග්බි තරගයෙන් අනතුරුව එහි විනිසුරුවරුන්ට පහර දුන් බවට ශ්‍රී ලංකා රග්බි ආයතනය මහනුවර ක්‍රීඩා සමාජයට නගන චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් මහනුවර ක්‍රීඩා සමාජයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කොට තිබේ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දුට යොමු කොට ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ලීග් ශූරතා තරගාවලිය යටතේ ඉදිරියේදී නිත්තවෙල ක්‍රීඩාපිටියදී පැවැත්වීමට නියමිත තරග නිත්තවෙල ක්‍රීඩාපිටියේදී මහනුවර ප්‍රේක්ෂකයන් ඉදිරිපිටදී හැර වෙනත් කිසිදු ස්ථානයකදී නොපවත්වන බවයි.
මෙම තරඟය ඉකුත් 21 වැනි දිනදී නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවති අතර එහි තරග විනිසුරු වශයෙන් කටයුතු කළ ගිහාන් යටවරගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් තරගයෙන් පසු තරමක නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතවිය.
මහනුවර ක්‍රීඩා සමාජය විසින් යොමු කොට ඇති ලිපියේ සඳහන් වන්නේ තරගයෙන් පසු තරග විනිසුරුවරුන් සහ සී.එච්. ක්‍රීඩකයන් ඇතුළු නිලධාරීන් ආරක්ෂිතව ඔවුන්ගේ විවේකාගාර කරා යොමු කළ බවත්, ඔවුන්ට කිසිදු ආකාරයක පහරදීමක් සිදු නොවූ බවත්ය. ඔවුන් ආරක්ෂිතව විවේකාගාර කරා යොමු කරවීමට මහනුවර ක්‍රීඩා සමාජයේ නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළ බවද එහි වැඩිදුරටත් සඳහන්ය.
එහෙත් සී.එච්. කණ්ඩායමේ කාර්ය මණ්ඩල සහායකයකු විසින් මහනුවර පිලේ ආධාරකරුවකුට පහරදී ඇති බවට ද එම ලිපියෙන් චෝදනා කර සිටි. එසේම ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත් ලිපියේ සඳහන්ය.
විනිසුරුවරයාගේ තීරණ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් දැඩි අතෘප්තියකින් සිටියද ඔවුන් දැඩි ඉවසීමකින් කටයුතු කළ බවද එම ලිපියේ සඳහන්ය. පක්ෂග්‍රාහී සහ අදක්ෂ විනිසුරු තීරණ මෙවැනි නොසන්සුන්කාරී තත්වයන් ඇතිවීමට මූලික වන බවත් එම විනිසුරුවරයාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම ලිපිය මගින් විමසා තිබේ. නිත්තවෙල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ඉදිරි තරග සඳහා ආරක්ෂාව දැඩි කරන බවට ද එම ලිපිය මගින් ශ්‍රී ලංකා රග්බි සංගමයට මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රතිඥා ලබා දී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.