Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාව හදිසියේම තරගයෙන් ඉවත් වෙයි

නාවික හමුදාව හදිසියේම තරගයෙන් ඉවත් වෙයි

editorial - 2022 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර අද (2 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගයෙන් හදිසියේම ඉවත්වීමට නාවික හමුදා කණ්ඩායම තීරණය කළේය. මෙම තරගය අද සවස 4.30 ට කොළඹ සී.ආර්.පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබිණ.

සී.ආර්. පිල සහ නාවික හමුදාව අතර පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය, නාවික හමුදා ක්‍රීඩක යෝෂිත රාජපක්‍ෂකගේ සමුගැනීමේ තරගය ලෙසින් මීට දින කිහිපයකට ඉහතදී නම්කරනු ලැබිණ. මෙය පළඟ ශූරතා වටයේ තරගයකි.

“රටේ දැන් පවතින තත්ත්වය අනුව ආරක්‍ෂක සේවා කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට වඩා වෙනත් වගකීම් තිබෙනවා” යයි කියමින් තරගය ආරම්භ වීමට පැයක් පමණ තිබියදී නාවික හමුදා කණ්ඩායම තරගයෙන් ඉවත් විය. එයින් මඳ වේලාවකට පසුව, පස්වරු 4.00 ට පමණ, දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන ලදි.

අද සවස 6.00 ට පැනවෙන ඇඳිරි නීතිය, දැනට පවතින නියමයන් අනුව, 4 වැනි සඳුදා පෙරවරු 6.00 වන තෙක් බලපැවැත්වෙනු ඇත. එහෙත් අද පස්වරු 6.00 ට පෙර ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්‍ෂකයන් ද නිවෙස් බලා යා යුතු වන බැවින් මෙම තරගය තාවකාළිකව අත්හිටුවන ලද බව ශ්‍රී ලංකා රග්බි ආයතනය කියයි.

ක්‍රීඩාවේ පවතින සාමාන්‍ය නීතිය අනුව, කිසියම් කණ්ඩායමක් අවසන් මොහොතේදී තරගයෙන් ඉවත් වන්නේ නම්, ප්‍රතිවාදී කණ්ඩායමට නිතරඟ ජයක් හිමිවේ. එහෙත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ තරග කොන්දේසි අනුව කිසියම් කණ්ඩායමක් අවසන් මොහොතේදී තරගයෙන් ඉවත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සත්කාරක කණ්ඩායමට දන්වා සිටිය යුතුය.
 
එවන් අවස්ථාවකදී, සත්කාකරක කණ්ඩායමේ කරුණු ඉදිරිපත් කිරීම මත, නියමිත විභාගයකින් අනතුරුව, අදාළ තරගයේ ජයග්‍රහණය සත්කාරක කණ්ඩායමට පිරිනමන්නේද නැද්ද යන්න ශ්‍රී ලංකා රග්බි විනය කමිටුව විසින් තීරණය කරනු ලබනු ඇත.

“කොහොම වුණත් මේ තරගයේ ජයග්‍රහණය කාටද කියලා තීරණයක් ගන්න නම් ඒ සම්බන්ධයෙන් සත්කාරක (සී.ආර්.) ක්‍රීඩා සමාජය අපට දන්වන්න ඕනේ. එහෙම නැතිව සත්කාරකයන්ට ඕන විදිහට තරග කල්දාන්න බෑ” යයි ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ලියාපදිංචිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අත්හිටුවනු ලැබ තිබේ. ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පරිපාලනය පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘නිසි බලධාරියා’ ලෙසින් පත්කරනු ලැබ ඇත.

මෙතැන් සිට කටයුතු නිසි බලධාරියාගේ නියමය පරිදි වනු ඇත.

කණ්ඩායම් 8 ක් සහභාගි වූ අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම අවසන් වීමෙන් පසුව කුසලාන ශූරතාව සඳහා මහනුවර, හැව්ලොක්ස්, සී.එච්. සහ පොලිස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබාගත්හ.

නාවික හමුදාව, සී.ආර්, ගුවන් හමුදාව සහ යුද හමුදාව පළඟ ශූරතාව වෙනුවෙන් ඉතිරි විය.
මෙම සති අන්තයේ තරග හැරෙන්නට කුසලාන සහ පළඟ ශූරතාවලියේ තවත් සති අන්තයක තරග ඉතිරිව තිබේ.

 

 


අදහස් (0)

නාවික හමුදාව හදිසියේම තරගයෙන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.