Last Update  :  2026-01-26 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් පරදවති

නාවික හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් පරදවති

editorial - 2026 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ මූලික වටයේ අවසන් සතියේ තරගයක් ලෙස ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර අද (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25-20 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය. මෙවර තරගාවලියේදී නාවික හමුදාව ලැබූ පළමු ජය මෙය විය. 

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-07 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන් උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ නාවික ක්‍රීඩකයන් ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් තවත් ලකුණු 15 ක් රැස්කිරීමට සමත් වෙද්දී, ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 25-20 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. 

සිවුවැනි විනාඩියේදී ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ මොහොමඩ් නිස්රාන් උත්සාහක දිනුමක් ලබාගනිමින් සිය තරගයේ පෙරමුණට ගෙන ආවේය. 31 වැනි විනාඩියේදී තනූජ දිල්ෂාන් ලබාගත් උත්සාහක දිනුමත් සමග ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10 ක් දක්වා ඉහළ ගියේය. 

තරගයේ 38 වැනි විනාඩියේදී නායක දෙනුවන් වික්‍රමාරච්චි ලබාගත් උත්සාහක දිනුම සහ ඉසුරු කෝන්ගහවත්ත සාර්ථක කරගත් එහි ප්‍රවර්ථනය හේතුවෙන් ලකුණු 10-07 ක් ලෙස පළමු අර්ධය නිමා කිරීමට නාවික හමුදාවට අවස්ථාව උදා විය. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 3 ක් ඇතුළත ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට ටෙරාන් කරුණානායක සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් කවීෂ නඳුන් ලකුණු 17-07 ක් ලෙස දෙපිල අතර පැවැති ලකුණු පරතරය ඉහළ දැමුවේය.

කෙසේ වුවත් 45 වැනි වැනි සහ 65 වැනි විනාඩිවලදී නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත් ඉසුරු කෝන්ගහවත්ත, ඉන් නොනැවතී 50 වැනි විනාඩියේදී ෆාහඩ් නසාර්ද, 54 වැනි විනාඩියේදී දෙනුවන් වික්‍රමාරච්චිද ලබාගත් උත්සාහක දිනුම් දෙකෙන් එකක ප්‍රවර්ථනයක්ද සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා දායකත්වය දැක්වීය. 

දෙවැනි අර්ධයේදී ලබාගත් එම ලකුණු 18 ත් සමග නාවික හමුදාවේ ලකුණු සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ ගිය අතර තරගයේ අවසන් විනාඩි 15 ආරම්භ වන විට ඔවුහු ලකුණු 25-17 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. 74 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ කවීෂ නඳුන්, සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ දැමුවද තරගය ජය ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. 


අදහස් (0)

නාවික හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.