Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නවසීලන්තය අනතුරු ඇඟවීම අරඹයි
රග්බි ලෝක කුසලාන - 2023

නවසීලන්තය අනතුරු ඇඟවීම අරඹයි

editorial - 2023 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි : සැකසුම - දමින්ද විජේසූරිය)

රග්බි ලෝක කුසලාන තරගය ආරම්භ වී ගතවූයේ විනාඩි 2 ක් පමණි. නවසීලන්තයේ කැමරන් රොයිගර්ඩ් පළමු උත්සාහක දිනුම තැබූ අතර ඊළඟ විනාඩියේදී ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩේමියන් මැකෙන්සි එය ගෝල දිනුමක් බවට ප්‍රවර්ථනය කළේය. විනාඩි 3 ක් ඇතුළත ලකුණු 07 ක් නවසීලන්තයට එක්වීමෙන් ඉතිරි විනාඩි 77 දී සිදුවන්නට යන්නේ කුමක් ද යන්න නැමීබියානුවන්ට කල්වේලා ඇතිවම දැනගන්නට ලැබිණ.

ප්‍රංශයේ ටූලූස් නුවරදී ඊයේ (15 වැනිදා) රාත්‍රියේ පැවැති පළමු වටයේ තරගයේ විනාඩි 80 ක් ඇතුළත, නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 71 ක් ලබාගත්හ. නැමීබියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 03 කි.

11 වැනි විනාඩියේදී නැමීබියාවට ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගන්නා විටත්, නවසීලන්තය ලකුණු 12-3 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය. එතැන් සිට එය ඒක පාර්ශ්වික ලකුණු ලබාගැනීමක් මිස තරගයක් නම් නොවීය.

තරගයේ පළමු අර්ධය නිමාවේදී ලකුණු සංඛ්‍යාව 38-3 කි.

‘ඕල් බ්ලැක්ස්’ හෙවත් නවසීලන්තයේ කළු කමිසකාරයෝ උත්සාහක දිනුම් 11 ක් තබමින් ඒවායින් 8 ක්ම ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කළහ. නැමීබියාවට හිමිවූ එකම දඬුවම් පහර ෆුල් බැක් ක්‍රීඩකයා විසින් සාර්ථක කරගන්නා ලදි.

නවසීලන්තයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා වූ ඩේමියන් මැකෙන්සි, තමන්ට ලැබුණු ප්‍රවර්ථන අවස්ථා 8 ම සාර්ථක කරගනිමින් ලකුණු 16 ක් කණ්ඩායමට එක්කළ අතර එතැනින් නොනැවතී 20 වැනි සහ 39 වැනි විනාඩි වලදී උත්සාහක දිනුම් දෙකක් ද තැබීය. මැකෙන්සිගෙන් කණ්ඩායමට එක්වූ ලකුණු සංඛ්‍යාව 26 කි.

තවමත් ටෙස්ට් තරග 3 කට පමණක් ක්‍රීඩා කර ඇති කැමරන් රොයිගර්ඩ් සහ මැකෙන්සි දෙදෙනා ටූලූස් පිටියේ අණසක පතුරුවාගෙන සිටියහ. පිටියේ ඉඩකඩ සොයාගැනීමට මැකෙන්සි සැම විටම සමත් විය. රොයිගර්ඩ්ගේ කාර්යය වූයේ පන්දුව රැගෙන හැකිතරම් වේගයෙන් ඉදිරියට දිව යාමයි.

මේ දෙදෙනාගේම ක්‍රීඩා රටාවන් ජාඩියට මූඩිය මෙන් ගැලපුණේය.

“ඒක අපි දිනන්න ඕන තරගයක් තමා” යයි නවසීලන්ත පුහුණුකරු ඉයන් ෆොස්ටර් පැවසීය.

තරගාවලියේ පළමු තරගයේදීම ප්‍රංශය හමුවේ ලකුණු 27-13 කින් පරාජය වූ නවසීලන්තය, ඊයේ උත්සාහක දිනුම 11 ක් තබමින්, අතිරේක ප්‍රසාද ලකුණත් එකතු කරගත්තේය.

නවසීලන්තයට තිබූ එකම පැල්ලම වූයේ භයානක වෙට්ටුවක් දැමීම නිසා ඊතන් ඩි‘ගෲට් රතු කාඩ්පතක් පෙන්වා පිටියෙන් පිටමං කිරීමයි.

ලෝක කුසලාන තරගාවලි 7 කට සහභාගි වී ඇති නැමීබියාව, ඒවායේදී මුහුණ දුන් තරග 24 ම පරාජය වී තිබේ.


අදහස් (0)

නවසීලන්තය අනතුරු ඇඟවීම අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.