Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තායිලන්තයට පැරදුන ශ්‍රී ලංකාව 10 වැනි තැනට

තායිලන්තයට පැරදුන ශ්‍රී ලංකාව 10 වැනි තැනට

editorial - 2023 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වට සහභාගි වූ තරින්ද රත්වත්තේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම, අද (26 වැනිදා) පැවැති ශ්‍රේණිගතකිරීමේ තරගයදී තායිලන්තය හමුවේ ලකුණු 10-07 ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන් එම ඉසව්වේ 10 වැනි ස්ථානයට පත් විය. 

කණ්ඩායම් 13 ක සහභාගීත්වයෙන් පැවැති සත් සාමාජික රග්බි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට හොං කොං කණ්ඩායම සමත් වූ අතර රිදී පදක්කම කොරියාවටත්, ලෝකඩ පදක්කම ජපානයටත් හිමිවිය. රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 14-07 කින් කොරියාව පරාජය කිරීමට හොං කොං කණ්ඩායම සමත් විය. 

ලෝක රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පනවා තිබීම හේතුවෙන් ආසියානු ඔලිම්පික් ධජය යටතේ මෙම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට, මූලික වටයේදී සහභාගි වූ තරග දෙකම පරාජය වීම නිසා එම ඉසව්වේ 9 වැනි ස්ථානයත්, 13 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. 

එහිදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ලකුණු 36-10 ක් ලෙසද, පිලිපීනයට එරෙහිව ලකුණු 21-12 ක් ලෙසද, නේපාලයට එරෙහිව ලකුණු 68-00 ක් ලෙසද ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ වුවත් තායිලන්තය හමුවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ 10 වැන් ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

නේපාලයට එරෙහිව ඊයේ පැවැති තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන ලකුණු 42-00 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. එහිදී ගෝල දිනුම් 9 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, නේපාල ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීම සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. 

එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අංජුල හෙට්ටිආරච්චි, කවිඳු අංජන සහ දර්ශන දාබරේ උත්සාහක දිනුම් 2 බැගින්ද, අදීෂ වීරතුංග, රමේෂ් රුක්මාල්, තරින්ද රත්වත්තේ, දිනූප සෙනෙවිරත්න එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. තරින්ද රත්වත්තේ ප්‍රවර්ථන 4 ක්ද, කවිඳු අංජන ප්‍රවර්ථන 3 ක්ද, අදීෂ වීරතුංග සහ දිනූප සෙනෙවිරත්න එක් ප්‍රවර්ථනය බැගින්ද සාර්ථක කරගත්හ. 

තායිලන්තයට එරෙහිව පැවැති තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව ලකුණු 07-05 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් මගින් ලකුණු 5 ක් ලබාගැනීමට තායිලන්තය සමත් වෙද්දී, ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, නියමිත කාලය අවසානයේ ලකුණු 10-07 ක තියුණු පරාජයක් ලැබූහ. 

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීමට ඇඩම් නිකලස් සමත් වූ අතර ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පත්කරනු ලැබුවේ තරින්ද රත්වත්තේ විසිනි.


අදහස් (0)

තායිලන්තයට පැරදුන ශ්‍රී ලංකාව 10 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.