
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) දෙවැනි සතියේ තරගයක් ලෙස ගුවන් හමුදාව සහ පොලිසිය අතර ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 26-17 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. අකුණු ගැසීම හේතුවෙන් විනාඩි 10 කට පෙර තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ගුවන් හමුදා ක්‍රීඩකයෝ ලකුණු 14-05 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. එහිදී ගුවන් හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර පොලිස් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් රැස්කිරිමට ගුවන් හමුදා ක්‍රීඩකයන් සමත් වෙද්දී, පොලිස් ක්‍රීඩකයෝද ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් රැස්කළහ. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව තරගයේ ජය ගුවන් හමුදාවට හිමිවිය.
තරගයේ 5 වැනි සහ 12 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් ගුවන් හමුදාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට හුකර් ක්‍රීඩක පරාක්‍රම රත්නායක සමත් වුවද, අපරික්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔහුට 38 වැනි විනාඩයේදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලබා විනාඩි 10 කට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.
පරාක්‍රම වාර්තා කළ උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්ථන සාර්ථක කරගනිමින් ඒවා ගෝල දිනුම් බවට පත්කළ ගයන්ත ඉද්දමල්ගොඩ, ලකුණු 14-0 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියට ගෙන ආවේය. පළමු අර්ධය නිමාවීමට විනාඩියක් ඉතිරිව තිබියදී එනම් 39 වැනි විනාඩියේදී පොලිසිය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබාගැනීමට ප්‍රොප් ක්‍රීඩක හාෆිස් තාබිත් සමත් විය.
දෙවැනි අර්ධය අරාම්භ වී විනාඩි 2 ක් ගතවන විට (42 වැනි විනාඩියේදී) ගුවන් හමුදාව වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම ලබාගැනීමට ෂෙනාල් ලිතිර සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේද ගයන්ත ඉද්දමල්ගොඩ විසිනි. 58 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට ප්‍රසාද ලකුණද හිමිකර දෙමින් සිවුවැනි උත්සාහක දිනුමත් ලබාගැනීමට පරාක්‍රම රත්නායක සමත් විය.
ඒ අනුව තරගයේ ලකුණු සංඛ්‍යාව 26-05 ක් බවට පත්වූ අතර 62 වැනි සහ 69 වැනි විනාඩිවලදී පොලිසිය වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමීර ජයසිංහ සහ මොහාන් විමලරත්න සමත් වුවද, ගුවන් හමුදාවේ ජයග්‍රහණයට බාධා කිරීමට තරම් එම උත්සාහක දිනුම් ප්‍රමාණවත් නොවීය. පසිඳු තාරක ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේය.
තරගයේ 60 වැනි විනාඩියේදී පොලිස් කණ්ඩායමේ රමිත හිමාෂද, 61 වැනි විනාඩියේදී ගුවන් හමුදා කණ්ඩායමේ විමුක්ති ප්‍රනාන්දුද නීති විරෝධී ක්‍රීඩා විලාශයන් හේතුවෙන් විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලබා විනාඩි 10 බැගින් පිටියෙන් ඉවත්ව සිටියහ.


ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.