Last Update  :  2026-01-26 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කුසලාන වටයේදී කරට කර සටනක්
අන්තර් සමාජ රග්බි ලීගය

කුසලාන වටයේදී කරට කර සටනක්

editorial - 2026 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 ට පත්වෙමින් කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීමේ අවස්ථාව උදාකර ගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., මහනුවර, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සහ හැව්ලොක්ස් යන ක්‍රීඩා සමාජ සමත්ව සිටියි. 

තරගාවලියේ මූලික වටය සති 11 කින් සමන්විත වූ අතර එහිදී ජයග්‍රහණය 7 ක් අත්කර ගනිමින් ප්‍රසාද ලකුණු 7 ක්ද ලකුණු 42 ක් ලබාගත් සී.ආර්. කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය. සී.එච්. කණ්ඩායම හමුවේ පමණක් පරාජයට පත්වූ සී.ආර්. ක්‍රීඩකයෝ මූලික වටයේදී සෙසු සියලු කණ්ඩායම් පරාජය කිරීමට සමත් විය. 

සී.ආර්. කණ්ඩායමට පියවරක් පසුපසින් සිටින මහනුවර කණ්ඩායම මූලික වටයේද ජයග්‍රහණ 6 ක් ලබමින් සී.එච්. කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. සී.ආර්. කණ්ඩායම හමුවේ පමණක් පරාජයට පත්වූ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 8 ක් සමග ලකුණු 41 කට හිමිකම් කියමිනි. 

ලකුණු සටහනේ පලමු ස්ථානයේ පසුවන සී.ආර්. කණ්ඩායම පරාජය කරමින්, දෙවැනි ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායම සමග සම වූ සී.එච්. කණ්ඩායම, ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 6 ක් සමග ලකුණු 39 කට හිමිකම් කියමිනි. ජයග්‍රහණ 6 කට හිමිකම් කියන සී.එච්. ක්‍රීඩකයන් මූලික වටයේදී පරාජයට පත් වූයේ හැව්ලොක්ස් කණ්ඩායම හමුවේ පමණි. 

මූලික වටයේදී ජයග්‍රහණ 5 ක් ලැබූ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ, සී.ආර්. සහ මහනුවර කණ්ඩායම් හමුවේ පරාජයට පත්වූ අතර නාවික හමුදාවට එරෙහිව පැවැති තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්  කළහ. ඒ අනුව ප්‍රසාද ලකුණු 6 ක් සමග ලකුණු 34 ක් ලබාගත් ඔවුන් කුසලාන වටයට පිවිසියේ ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පත් වෙමිනි. 

පිළිවෙලින් ලකුණු සටහනේ පස්වැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි ස්ථානවලට පත්වූ ගුවන් හමුදාව, පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව දෙවැනි වටයේදී පළඟ ශූරතාව යටතේ තරග වැදීම සඳහා අවස්ථාව උදාකරගත් අතර ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ ශ්‍රී ලයන්ස් කණ්ඩායමට දෙවැනි වටයට සහභාගි වීමේ අවස්ථාව මඟහැරී ගියේය. 

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි. 


අදහස් (0)

කුසලාන වටයේදී කරට කර සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.