Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉන්දියාව පරදමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට
ආසියානු රග්බි - 2024

ඉන්දියාව පරදමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට

editorial - 2024 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමයේ සංවිධායකත්වයෙන් කොළඹ, රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුහු අවසන් මහ තරගයේ සුදුසුකම් ලැබුවේ අද (30 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 45-10 ක විශිෂ්ඨ ජයක් ලබමිනි.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 21-03 ක් ලෙස  පෙරමුණගත් ශ්‍රී ලංකාව දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 24 ක් තම ලකුණු මල්ලට එක් කරගනිද්දී, ඉන්දියාව දෙවැනි අර්ධය තුළ ලබාගත්තේ ලකුණු 7 ක් පමණි. තරගයේ දෙවැනි විනාඩියේදීම දඬුවම් පහරක් සාර්ථක කරගත් ඉන්දීය නායක දීපක් පුනියා සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

මුල් විනාඩි 14 නිමාවට පත්වන තෙක්ම ලකුණු 03-00 ක් ලෙස ඉදිරියෙන් සිටි ඉන්දියාව පසුපස ඇද දැමූ පුලස්ති දසනායක 15 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් උප නායක තරින්ද රත්වත්තේ ශ්‍රී ලංකාව ලකුණු 07-03 ක් ලෙස ඉදිරියට ගෙන ආවේය. එතැන් සිට විනාඩි 3 ක් ඇතුළත (18 වැනි විනාඩියේදී) තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට තේනුක නානායක්කාර සමත් වූ අතර අතර එහි ප්‍රවර්ථය සාර්ථක කරගනු ලැබුවේද තරින්ද විසිනි.

පළමු අර්ධය නිමාවීමට විනාඩි 8 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සුදාරක දික්කුඹුර සමත් වූ අතර ප්‍රවර්ථනය සාර්ථක කරගත් තරින්ද එයද ගෝල දිනුමක් බවට පත්කළේය. ඒ අනුව ලකුණු 21-03 ලෙස ශ්‍රී ලංකාවට පෙරමුණ අත්කර දෙමින් පළමු අර්ධය නිමාවට පත් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 5 ක් ගතවන විට (45 වැනි විනාඩියේදී) පුලස්ති දසනායකද, විනාඩි 10 ක් ගතවන විට (55 වැනි විනාඩියේදී) තේනුක නානායක්කාරද ඔවුන්ගේ දෙවැනි උත්සාහක දිනුම් වාර්තා කළහ. ඉන් පළමු වැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට තරින්ද සමත් වුවද, දෙවැන්නේ ප්‍රවර්ථනය ඔහු අතින් ගිළිහී ගියේය. ඒ අනුව ලකුණු තත්වය 33-03 ක් බවට පත්විය.

අවසන් විනාඩි 20 තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තියුණු සටනක් දුන් ඉන්දීය ක්‍රීඩකයෝ, 62 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් දීපක් පුනියා ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10 ක් දක්වා ඔසවා තැබුවේය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවූ අතර 74 වැනි විනාඩියේදී ක්‍රියාත්මක වූ තරින්ද රත්වත්තේ උත්සාහක දිනුමක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 5 ක් එක්කළේය.

තරින්ද ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට නොහැකි වුවද, අවසන් විනාඩියේදී (80 වැනි විනාඩියේදී) උත්සාහක දිනුමක් ලබාගනිමින් එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගත් හිරුෂ නෙත්මිණ ශ්‍රී ලංකාව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ දැමුවේය.  ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 45-10 ක් ලෙස ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාව පහසු ජයක් ලැබීය.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී තියුණු සටනකින් අනතුරුව ලකුණු 33-31 ක් ලෙස කටාර් රාජ්‍යය පරාජය කිරීමට කසකස්ථානය සමත් වූ අතර එම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-14 ක් ලෙස කටාර් රාජ්‍යය ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර අවසන් මහ තරගයත්, කටාර් රාජ්‍යය සහ ඉන්දියාව අතර තෙවැනි ස්ථානය සඳහා වන තරගයත් මෙම මස 4 වැනිදා පැවැත්වෙනු ඇත.

 
 
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
 

අදහස් (0)

ඉන්දියාව පරදමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.