Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අයර්ලන්තය - ස්කොට්ලන්තය තීරණාත්මක තරගයක
ලෝක කුසලන රග්බි - 2023

අයර්ලන්තය - ස්කොට්ලන්තය තීරණාත්මක තරගයක

editorial - 2023 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දින දෙකක විවේකයකින් පසුව ලෝක කුසලන රග්බි තරග නැවතත් ආරම්භ වූ අතර නවසීලන්තය සහ උරුගුවේ පිල අතර තරගය අද (05 වැනිදා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගයේ ප්‍රතිඵලය කුමක්ද යන්න ඕනෑම අයකුට සිතාගත හැකි නමුත්, 07 වැනිදා (සෙනසුරාදා) වඩාත් උද්වේගකර තරග තුනක් පැවැත්වීමට නියමිතය. 

වේල්සය සහ ජෝර්ජියාව, එංගලන්තය සහ සැමෝවා, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර සෙනසුරාදා තරග 3 ක් පැවැත්වෙන නමුත් මේවායින් අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය ඉතාමත් තීරණාත්මක තරගයකි. අනෙක් අතට අයර්ලන්තය සහ  ස්කොට්ලන්තය අතර රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසියම් “එදිරිවාදිකමක්” ඇති බවත් කියැවේ. එබැවින් අයර්ලන්ත - ස්කොට්ලන්ත තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇත. 

‘වෙබ් එලිස්’ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන දකුණු අප්‍රිකාවට එරෙහිව දෙසතියකට ඉහතදී ලකුණු 13-8 ක ආකර්ෂණීය ජයග්‍රහණයක් ලබා සිටින අයර්ලන්තය, සෙනසුරාදා තරගයේදී කාගේත් තේරීම වී තිබේ. විශේෂයෙන්ම රග්බි ටෙස්ට් තරග 16 ක් එක දිගට දිනා සිටින අයර්ලන්තය ඔවුන්ගේ අවසන් ටෙස්ට් තරඟ අටෙන් එකකදීත් ස්කොට්ලන්තය පරාජය කර තිබේ. 

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේදීම දකුණු අප්‍රිකානුවන් හමුවේ ලකුණු 18-3 ක පරාජයක් ලැබූ නමුත් නැවතත් හිස් ඔසවාගත් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ටොංගා සහ රුමේනියාව පරාජය කරමින් හොඳ ජයග්‍රහණ අත්කර ගත්හ. 

‘බී’ කාණ්ඩයේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකරගෙන සිටින අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර සෙනසුරාදා පැවැත්වෙන තරගයෙන් පසුව අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය කාටද යන්න බලාගත හැකිවනු ඇත. අතිරේක ප්‍රසාද ලකුණත් සමගින් තරගය ජයගැනීම ස්කොට්ලන්තයට හැකිවුවහොත්, අයර්ලන්තය පසෙකට ඇද දැමීමට හැකියාව ඇතත් එය පහසු කාරියක් නම් නොවේ. 

“රග්බි ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර  යම් තරමක හතුරුකමක් තියෙනවා” යයි දකුණු අප්‍රිකානු පිලේ ලොක් ෆෝවර්ඩ් ක්‍රීඩක ජීන් ක්ලේන් කියයි. ඔහු අයර්ලන්තයේ රග්බි ක්‍රීඩා සමාජයක් වන ‘මුන්ස්ටර්’ පිල වෙනුවෙන් ක්‍රීඩා කරයි. දකුණු අප්‍රිකාවේ උපත ලද ජීන් ක්ලේන් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළද, 2019 ලෝක කුසලාන තරගාවලියේදී නියෝජනය කළේ අයර්ලන්තයයි. 

වේල්සය සහ ජෝර්ජියාව අතර තරගයේදී උත්සාහක දිනුම් වැඩි ප්‍රමාණයක් ගොඩගසාගැනීම වේල්සයේ අපේක්‍ෂාවයි. වේල්සය මේ වන විටත් ‘සී’ කාණ්ඩයෙන් පෙරමුණ ගෙන සිටී. 
මෙතෙක් සහභාගි වූ තරග තුනම ජයගනිමින් ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින එංගලන්තයේ අපේක්‍ෂාව වන්නේ තමන්ගේ ක්‍රීඩකයන් තුවාල කරගැනීමේ අසීරු අවස්ථාවන්ට මුහුණ නොදී, සැමෝවා පිල පරාජය කිරීමයි. 

-213


අදහස් (0)

අයර්ලන්තය - ස්කොට්ලන්තය තීරණාත්මක තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.