Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අපරාජිතයන්ගේ සටන ඉරිදා නිත්තවෙලදී
ලීග් රග්බි තරගාවලිය

අපරාජිතයන්ගේ සටන ඉරිදා නිත්තවෙලදී

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක් ක්‍රීඩා සමාජය ඉරිදා (20 වැනිදා) පස්වරු 4.00 ට නිත්තවෙලදී තරග බිමට පිවිසීමට නියමිතය. කණ්ඩායම් දෙකම මේ දක්වා තරගාවලිය තුළ අපරාජිතව සිටීම හේතුවෙන් මෙම තරගය අපරාජිතයන්ගේ සටනක් බවට පත්ව තිබේ.

මේ දක්වා සහභාගි වී ඇති තරග 6 ම ජයගෙන සිටින මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු 5 ක් සමග ලකුණු 35 හිමිකම් කියයි. හැව්ලොක් කණ්ඩායම සහභාගි වූ තරග 6 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 3 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 33 කි. ඒ අනුව මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත බව රැකගනිමින් තරගාවලියේ කුසලාන වටයට පිවිසෙනු ඇත.

තරගාවලියේ පළමු සති 3 අවසන්වන තෙක් ලකුණු සටහනේ පෙරමුණ රැකගෙන සිටි මහනුවර කණ්ඩායමට සිවුවැනි සතියේදී යුද හමුදාව සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගය කල් දැමීම හේතුවෙන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. ඒ අනුව එතෙක් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ හැව්ලොක් කණ්ඩායම එහි පෙරමුණට පැමිණියේය.

සති හතරක් පුරා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටි මහනුවර ක්‍රීඩකයෝ ඉකුත් සති අන්තයේදී යුද හමුදාවට එරෙහිව ලකුණු 21-17 ක ජයක් වාර්තා කරමින් යළිත් වරක් ලකුණු සටහනේ පෙරමුණ තමන් සතුකර ගත්හ. මහනුවර කණ්ඩායමේ ඉහළ නැගීමත් සමග හැව්ලොක් කණ්ඩායම  ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඇද වැටිණ.

ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 34-12 ක ජයක් ලබමින් මෙවර තරගාවලියට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩකයෝ, ඉන් අනතුරව සී.එච්. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 39-03 කද, නාවික හමුදාවට එරෙහිව ලකුණු 35-30 කද, සී.ආර්. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 45-26 කද, පොලිසියට එරෙහිව ලකුණු 36-23 කද, යුද හමුදාවට එරෙහිව ලකුණු 21-17 කද ජයග්‍රහණය ලැබූහ.

මෙතෙක් පැවැති තරගවලදී ලකුණු 21-05 කින් නාවික හමුදාවද, ලකුණු 36-14 කින් යුද හමුදාවද, ලකුණු 26-22 කින් ගුවන් හමුදාවද, ලකුණු 20-17 කින් සී.එච්. කණ්ඩායමද, ලකුණු 21-17 කින් පොලිසියද, ලකුණු 53-03 කින් සී.ආර්. කණ්ඩායමද පරාජය කිරීමට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වූහ.


අදහස් (0)

අපරාජිතයන්ගේ සටන ඉරිදා නිත්තවෙලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.