
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ මූලික වටයේ අවසන් සතියේ තරගයක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර අද (23 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24-17 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය. මෙවර තරගාවලියේදී හැව්ලොක්ස් කණ්ඩායම ලැබූ පස්වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග කුසලාන වටයේ ස්ථානයක් තහවරු කරගැනීමටද ඔවුහු සමත් වූහ.
පොලිස් ක්‍රීඩා සමාජයේ නිවස්න ක්‍රීඩාංගණය වන බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 17-12 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. එහිදී පොලිස් ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර හැව්ලොක්ස් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේදී තරමක් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ හැව්ලොක්ස් ක්‍රීඩකයන්, ගෝල දිනුම් 2 ක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 14 ක් එක්කර ගැනීමට සමත් වූයේ පොලිස් ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනි. ඒ අනුව තරගයේ නියමිත කාලය නිමාවට පත්වන විට හැව්ලොක්ස් කණ්ඩායමට ලකුණු 24-17 ක ජයක් හිමිවිය.
තරගයේ 3 වැනි විනාඩියේදීම උත්සාහක දිනුමක් වාර්තා කළ ජනිඳු ලියනගේ හැව්ලොක්ස් කණ්ඩායම පෙරමුණට ගෙන ආ අතර ප්‍රවර්ථනය සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත එය ගෝල දිනුමක් බවට පත් කළේය. එහෙත් විනාඩි 4 ක් ගතවීමටත් මත්තෙන් පොලිස් කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක කලියෝවා මොසෙටඩ්‍රා ලබාගත් උත්සාහක දිනුම සහ ප්‍රින්ස් චාමර සාර්ථක කරගත් ප්‍රවර්ථනය හේතුවෙන් තරගය 7-7 ක් ලෙස සම තත්වයට පත් විය.
ඉන් නොනැවතුණු ප්‍රින්ස් චාමර 15 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගමින් ලකුණු 10-7 ක් ලෙස පොලිස් කණ්ඩායම තරගයේ ඉදිරියට ගෙන ආවේය. කෙසේ වුවත් 17 වැනි විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උදාර ලක්ෂාන් ලබාගත් උත්සාහක දිනුමත් සමග ලකුණු 12-10 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායමට යළිත් තරගයේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදාවිය.
පළමු අර්ධය නිමා වීමට විනාඩි 19 ක් ඉතිරිව තිබියදී එනම් 21 වැනි විනාඩියේදී සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ විදෙස් ක්‍රීඩක කලියෝවා මොසෙටඩ්‍රා, ලකුණු 15-12 ක් ලෙස දෙවැනි වරටත් හැව්ලොක්ස් කණ්ඩායම පසුකර යෑමට පොලිස් කණ්ඩායමට මඟ විවර කර දුන්නේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ප්‍රින්ස් චාමර පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-12 ක් ලෙස කණ්ඩායම් දෙකර අතර පැවැති ලකුණු පරතරය තවත් වැඩි කළේය.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව මුල් විනාඩි 20 තුළ ලකුණු රැස්කිරීමට දෙපිලේම ක්‍රීඩකයන් අපොහොසත් වූහ. එහෙත් 60 වැනි විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අස්මීර් ෆාජුඩීන් සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත ලකුණු 17-17 ක් ලෙස දෙවැනි වරටත් තරගය සම තත්වයට පත් කළහ.
තරගයේ 69 වැනි විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කිරීමට අබ්දුල්ලා ෆායිස් සමත් වූ අතර යළිත් වරක් ක්‍රියාත්මක වූ සැමුවෙල් මධුවන්ත එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේය. තරගයේ අවසන් විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ සචින්ත විද්‍යාරත්න සිය කණ්ඩායමට ලකුණු 29-17 ක පහසු ජයක් අත්කර ගැනීමට අවස්ථාව උදාකර දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.