Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාව අනුශූරතාව හිමිකර ගනී
ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි

ශ්‍රී ලංකාව අනුශූරතාව හිමිකර ගනී

editorial - 2025 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් ඉන්දියාවේදී පැවැති ආසියානු වයස 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් මහ තරගයේදී හොං කොං රාජ්‍යය හමුවේ ලකුණු 33-00 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

රටවල් 8 ක සහභාගීත්වයෙන් ඊයේ (9 වැනිදා) සහ අද (10 වැනිදා) බිහාර් නුවරදී පැවැති මෙම තරගාවලියේ මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඉන්දියාව, හොං කොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

එහිදී හොං කොං රාජ්‍යය ලකුණු 24-19 ක් ලෙසත්, ඉන්දියාව ලකුණු 24-05 ක් ලෙසත්, කරට කර සටනකින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 26-24 ක් ලෙසත් ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්විය. ඒ අනුව ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ චීනය අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත් විය. 

ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරගයේදී චීනයට එරෙහිව ලකුණු 26-17 ක ජයක් ලබමිනි. එහිදී ගිමාර විජේරත්න උත්සාහක දිනුම් දෙකක්ද, පසිඳු බණ්ඩාර සහ උදීෂ රත්නායක උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර ඉන් ප්‍රවර්ථන දෙකක් ගිමාර විජේරත්න විසින්ද, පසිඳු බණ්ඩාර එක් ප්‍රවර්ථනයක්ද සාර්ථක කරගනු ලැබීය. 

මූලික වටයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වුවද ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව වටයට පිවිසි හොං කොං රාජ්‍යය, එහිදී ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්ව සිටි මැලේසියාවට එරෙහිව ලකුණු 33-05 ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය. 

අවසන් මහ තරගය ආරම්භයේ සිටම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ හොං කොං රාජ්‍යය, පළමු අර්ධය නිමාවන විට ලකුණු 19-00 ක් ලෙස පෙරමුණ ගත්තේය. 

දෙවැනි අර්ධයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එක් ලකුණක් හෝ රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන් හොං කොං ක්‍රීඩකයෝ එහිදී තවත් ලකුණු 14 ක් රැස්කරමින් පහසු ජයග්‍රහණයකට හිමිකම් කීහ. 


අදහස් (0)

ශ්‍රී ලංකාව අනුශූරතාව හිමිකර ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.