Last Update  :  2025-06-13 22:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා - දකුණු කොරියා රග්බි තරගයේදී නයිජල්ගේ තැන තරින්දට
ආසියානු රග්බි - 2025

ශ්‍රී ලංකා - දකුණු කොරියා රග්බි තරගයේදී නයිජල්ගේ තැන තරින්දට

editorial - 2025 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමය සංවිධානය කරන 2025 ආසියානු රග්බි ශූරතාවලියේ සමාරම්භක තරගය අනිද්දා (13 වැනිදා) පස්වරු 4.00 සිට ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර කොළඹ තුරඟ පිටියේදී පැවැත්වේ. මෙම තරගයට සහභාගි වන දකුණු කොරියානු රග්බි කණ්ඩායම ඊයේ (10 වැනිදා) දිවයිනට පැමිණි අතර තරගයට පෙර ඔවුන් කොළඹදී පුහුණු සැසි කිහිපයකට සහභාගි වීමට නියමිතය.

අසනීප තත්වයකින් සුවය ලබමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම් නායක නයිජල් රත්වත්තේ මෙම තරගයට සහභාගි නොවන අතර ඔහු වෙනුවට ඔහුගේ ඥාති සොහොයුරකු වන ෆ්ලයි හාෆ් ක්‍රීඩක තරින්ද රත්වත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් සිටියි. එහිදී දකුණු කොරියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ප්‍රොප් ක්‍රීඩක නා කවන් යොන්ග් විසිනි. 

දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රග්බි තරගයකදී එකිනෙකාට එරෙහිව තරග වදින 10 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර දෙරට අතර පැවැති තරග 9 ම ජය ගෙන ඇත්තේ කොරියාවය. අවසන් වරට මෙම කණ්ඩායම් දෙක අතර තරගයක් පැවැත්වී ඇත්තේ මීට වසර 11 කට පෙර 2014 වසරේ පැවැති ආසියානු රග්බි ශූරතාවලියේදීය. එම තරගය ජය ගැනීමට කොරියාව සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට ලකුණු 59-03 ක අමිහිරි පරාජයක් උරුමකර දෙමිනි.

ඉන් පෙර 2002 වසරේ කොරියාවේදී සහ 1998 වසරේ තායිලන්තයේදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලවල රග්බි තරගවලදී පිළිවෙළින් ලකුණු 70-11 ක් ලෙසත්, 90-03 ක් ලෙසත් දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. ඊට අමතරව 1972, 1982, 1984, 1988, 1990 සහ 1996 යන වසරවලදීද ආසියානු රග්බි ශූරතාවලිය යටතේ දෙරට අතර තරග පැවැත්වී ඇති අතර එහිදී පහසුවෙන්ම ශ්‍රී ලංකාව පරාජයට කිරීමට කොරියාවට හැකි වී තිබේ.

කෙසේ වුවත් ඉකුත් අප්‍රේල් මාසයේදී මැලේසියාවට එරෙහිව පැවැති සුදුසුකම් ලැබීමේ තරගයේදී ලැබූ ලකුණු 59-19 ක ජයග්‍රහණය සහ මැයි මාසයේදී නවසීලන්ත ක්‍රිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරග දෙකේදී ලද අත්දැකීම් සමග, නවසීලන්ත ජාතික රොඩ්නි ගිබ්ස් මහතාගේ නව පුහුණුකාරීත්ව යටතේ මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ජය ලැබීමට වැඩි අවස්ථාවක් ඇතැයි රග්බි ප්‍රවීනයෝ පවසති.

නවසීලන්ත ක්‍රිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතය වෙනස්කම් 6 ක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී නයිජල් රත්වත්තේ, ජනිඳු ප්‍රනාන්දු, මොහොමඩ් නිස්රාන්, හෆීස් තාබිත්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ ශාහිඩ් සුම්රි යන ක්‍රීඩකයන් වෙනුවෙට ෂෙනාල් අධිකාරම්, චතුර සොයිසා, හිරන්ත පෙරේරා, ඇඩම් ගෞඩර්, පසිඳු බණ්ඩාර සහ මූර්ෂීඩ් දොරෙයි යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. ඕස්ට්‍රේලියාවේදී උපත ලැබූ ශ්‍රී ලංකා සම්භවයක් ඇති ඇඩම් ගෞඩර් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරන පළමු අවස්ථාවද මෙය වේ.

කොරියාවට අමතරව මෙවර ආසියානු රග්බි ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාවට මෙම මස 22 වැනිදා හොං කොං රාජ්‍යයට එරෙහිව හොං කොංහිදීද, ජූලි මස 4 වැනිදා එක්සත් අරාබි රාජ්‍යයට එරෙහිව කොළඹදීද යළිත් තරග වැදීමට සිදුවනු ඇත. 2027 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශූරයන් බවට පත්විය යුතුය.

යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අනු ශූරයන් බවට පත්වුව හොත් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් කඩයිම් දෙකක් තරණය කිරීමට සිදුවනු ඇත. එහෙත් මෙම තරගාවලියේ තෙවැනි හෝ සිවුවැනි ස්ථානවලට පත්වුවහොත් ශ්‍රී ලංකාවට එළබෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිවනු ඇත.

මේ වන විට දකුණු කොරියාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්හි 35 වැනි ස්ථානයේද, ශ්‍රී ලංකාව එහි 39 වැනි ස්ථානයේදී පසුවන අතර මෙම තරගයේදී කොරියාව පරාජයට පත්කිරීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්හි තවත් ඉහළට යෑමටද අවස්ථාව උදාවනු ඇත. හොං කොං රාජ්‍යය ශ්‍රේණිගත කිරීම්හි 23 වැනි ස්ථානයේද, එක්සත් අරාබි රාජ්‍යය එහි 50 වැනි ස්ථානයේද පසුවේ.

 

කොරියානු රග්බි සංචිතය

නා කවන් යොන්ග් (නායක), චායි මින්සෙයොන්ග්, ලී හියුන්සු, ලී ජින්ක්යු, ජියොන්ග් යොවෝන්සික්, පාර්ක් ජෙයුන්යු, ලී හියොන්ජි, ජෑන්ග් හියොන්ගෝ, චෝයි හොයොන්ග්, යැන්ග් ඩයියොන්ග්, හවාන්ග් ජියෝන්ග් වූක්, කන්ග් සූන්යුක්, හවාන්ග් ඉන්බුම්, චෝයි සියෝන් ඩියොක්, කිම් කිමින්, කිම් ජීප්, ජෑන්ග් සියොක්වාන්, වෑන්ග් යොන්ග් හියුන්ග්, නෝහ් ඔක්ගි, පාර්ක් ජූන් යංග්, ජෑන්ග් ජියොන්මින්, හියෝ ජියේජූන්, කිම් නාමුක්, ලී මුයුන්ගෙන් මහතා (ප්‍රධාන පුහුණුකරු), යූ යොන්ගනාම් මහතා (සහාය පුහුණුකරු) සහ ජෑන්ග් හී චෑන්ග් මහතා (කලමණාකරු)

 

ශ්‍රී ලංකා රග්බි සංචිතය

තරින්ද රත්වත්තේ (නායක), විමුක්ති ගමගේ, සෙනුර පෙරේරා, තනූජ ජයවීර, ජනිඳු දිල්ෂාන්, පුලස්ති දසනායක, වෙනුර කෝදාගොඩ, ෂෙනාල් අධිකාරම්, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, ළහිරු තිලකරත්න, චතුර සොයිසා, තරිඳු චතුරංග, ලසිඳු කරුණාතිලක, දැහැන් වික්‍රමාරච්චි, මොහොමඩ් රිෆාන්, හේෂාන් ජැන්සන්, තේනුක නානායක්කාර, හිරන්ත පෙරේරා, අකාෂ් මධුෂංඛ, ධනුෂ්ක රන්ජන්, ඇඩම් ගෞඩර්, දිනාල් ඒකනායක, පසිඳු බණ්ඩාර සහ මූර්ෂීඩ් දොරෙයි සහ රොඩ්නි ගිබ්ස් මහතා (පුහුණුකරු)

 

(ඡායාරූප - කොරියානු රග්බි සංගමය)


අදහස් (0)

ශ්‍රී ලංකා - දකුණු කොරියා රග්බි තරගයේදී නයිජල්ගේ තැන තරින්දට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.