Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්ව - වෙස්ලි තීර්ණාත්මක තරගය අනිද්දා
අන්තර් පාසල් රග්බි ලීගයේ දෙවැනි වටය

ත්‍රිත්ව - වෙස්ලි තීර්ණාත්මක තරගය අනිද්දා

editorial - 2025 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතිය ආරම්භ කරමින් බඳුන ශූරතාව යටතේ තර්ස්ටන් විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල හෙට (1 වැනිදා) කොළඹ සුගදාස ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීරණ වනු ඇත. 

දෙවැනි වටයේදී කුසලාන, පළඟ සහ බඳුන යන ශූරතා 3 සඳහා තරග පැවැත්වෙන අතර පළමු වටයේදී දැක්වූ දක්ෂතා අනුව එක් ශූරතාවක් සඳහා කණ්ඩායම් 6 බැගින් එහිදී වෙන් වෙන්ව තරග වදිනු ඇත. සති 4 කින් සමන්විත වන දෙවැනි වටය අගෝස්තු මස 10 වැනිදායින් නිමාවට පත්වීමට නියමිතය. 

මෙම සතියේ තවත් තරග 6 ක් අනිද්දා (2 වැනිදා) දිනයේදීද, තරග 2 ක් ඉරිදා (3 වැනිදා) දිනයේදී පැවැත්වීමට යොදා තිබේ. අනිද්දා පැවැත්වෙන තරග 6 න් 3 ක් කුසලාන ශූරතාව වෙනුවෙන්ද, 2 ක් බඳුන ශූරතාව වෙනුවෙන්ද, සෙසු තරගය පළඟ ශූරතාව වෙනුවෙන්ද වන අතර ඉරිදා පැවැත්වෙන තරග 2 ම පළඟ ශූරතාව වෙනුවෙනි. 

කුසලාන ශූරතාව යටතේ මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව කොළඹ වෙස්ලි විදුහලත්, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහලත්, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කොළඹ ඉසිපතන විදුහලත් අනිද්දා තරග බිමට පිවිසෙනු ඇත. 

එම තරග අතරින් ත්‍රිත්ව - වෙස්ලි තරගය ජයගන්නා කණ්ඩායමට මෙවර තරගාවලියේ කුසලාන ශූරතාවට ලඟා වීමට වැඩි ඉඩක් තිබේ. ඊට හේතුව ත්‍රිත්ව විදුහල මේ වන විට තරග 3 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 3 ක් සමග මුළු ලකුණු 18 ක් ලබා සිටීමත්, වෙස්ලි විදුහල තරග 2 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 ක් සමග මුළු ලකුණු 12 ක් ලබා සිටීමත්ය. 

අනිද්දා දිනයේදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව මරදාන විදුහලත්, ඉරිදා දිනයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානායක විදුහලත්, මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව මහනුවර කින්ස්වුඩ් විදුහලත් තරග වදින්නේ පළඟ ශූරතාව වෙනුවෙනි. 

මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව කොළඹ මහානාම විදුහලත්, ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව මහනුවර ධර්මරාජ විදුහලත් අනිද්දා බඳුන ශූරතාව යටතේ තරග වදිනු ඇත. මෙම සියලුම තරග පස්වරු 4.15 ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන් තරග 6 ක් කොළඹදීද, තරග 3 ක් මහනුවරදීද පැවැත්වෙනු ඇත. 


කුසලාන ශූරතාව වෙනුවෙන් 

■ අනිද්දා (2 වැනිදා) - ත්‍රිත්ව විදුහල සහ වෙස්ලි විදුහල අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී 
■ අනිද්දා (2 වැනිදා) - සාන්ත තෝමස් විදුහල සහ රාජකීය විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී 
■ අනිද්දා (2 වැනිදා) - ශාන්ත පීතර විදුහල සහ ඉසිපතන විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී 
පළඟ ශූරතාව වෙනුවෙන් 
■ අනිද්දා (2 වැනිදා) - ආනන්ද විදුහල සහ සහිරා විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී 
■ අනිද්දා (3 වැනිදා) - ශාන්ත ජෝෂප් විදුහල සහ ඩී.එස්. සේනානායක විදුහල අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී 
■ අනිද්දා (3 වැනිදා) - ශ්‍රී සුමංගල විදුහල සහ කින්ස්වුඩ් විදුහල අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී 


බඳුන ශූරතාව වෙනුවෙන් 

■ හෙට (1 වැනිදා) - තර්ස්ටන් විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹ සුගදාස ක්‍රීඩාංගණයේදී
■ අනිද්දා (2 වැනිදා) - විද්‍යාර්ථ විදුහල සහ මහානාම විදුහල අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී 
■ අනිද්දා (2 වැනිදා) - විද්‍යා විදුහල සහ ධර්මරාජ විදුහල අතර විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

ත්‍රිත්ව - වෙස්ලි තීර්ණාත්මක තරගය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.