Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාවේ අපරාජිත බව හැව්ලොක්ස් හමුවේ බිඳවැටෙයි

ගුවන් හමුදාවේ අපරාජිත බව හැව්ලොක්ස් හමුවේ බිඳවැටෙයි

editorial - 2025 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) හයවැනි සතියේ තරගයක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර අද (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20-05 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය. මෙවර තරගාවලියේදී හැව්ලොක්ස් කණ්ඩායම ලැබූ දෙවැනි ජය මෙය විය. 

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 13-00 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එහිදී ගුවන් හමුදා ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් නොදුන් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත්හ. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින් ලකුණු 7 ක් රැස්කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩකයන් සමත් වෙද්දී, ගුවන් හමුදා ක්‍රීඩකයන්ට උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසානයේ හැව්ලොක්ස් කණ්ඩායමට ලකුණු 20-05 ක පහසු ජයක් හිමිවිය. එහිදී ගුවන් හමුදාවේ මලීෂ වීරකෝන් විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය.  

තරගයේ 5 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කිරීමට ජනිඳු විජේරත්න සමත් වුවද, එතැන් පටන් පැය භාගයකට වැඩි කාලයක් ලකුණු රැස්කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩකයෝ අපොහොසත් වූහ. කෙසේ වුවත් 36 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 8 ක් දක්වා ඔසවා තැබුවේය. 

පළමු අර්ධය නිමාවීමට ඔන්න මෙන්ම තිබියදී එනම් තරගයේ 40 වැනි විනාඩියේදී ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ දැඩි රැකවල් බිඳදැමූ අබ්දුල්ලා ෆයිස් ඉදිරිපෙළ ක්‍රීඩකයන් සමග එක්ව සිය කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් තිළිණ කර දුන්නේය. ඒ අනුව ලකුණු 13-00 ක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට සියලු ගෞරව හිමිකර දෙමින් තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 14 ක් ගතවන විට ගුවන් හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කුසල් අකලංක සමත් වුවත්, එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට ගයාන් ඉද්දමල්ගොඩ අසමත් විය. 75 වැනි විනාඩියේදී යෙහාන් බුලත්සිංහල ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත, හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ දැමුවේය. 

 


අදහස් (0)

ගුවන් හමුදාවේ අපරාජිත බව හැව්ලොක්ස් හමුවේ බිඳවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.