Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. අපරාජිත බව හැව්ලොක්ස් බිඳ දමයි
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. අපරාජිත බව හැව්ලොක්ස් බිඳ දමයි

editorial - 2025 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ අටවැනි සතිය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර අද  (2 වැනිදා) පැවැති තීර්ණාත්මක තරගයෙන් ලකුණු 53-42 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය. හැව්ලොක්ස් කණ්ඩායම එහිදී ලැබූ ජයග්‍රහණයත් සමග තරගාවලිය පුරා සී.ආර්. කණ්ඩායම රැකගෙන සිටි අපරාජිත බව බිඳ වැටිණ. 

හැව්ලොක්ස් කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ හත්වැනි ජයග්‍රහණය මෙය වූ අතර මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ, මෙම ජයග්‍රහණයෙන් අනතුරුව එහි පළමු ස්ථානය දක්වා ඉහළට පැමිණියහ. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග මෙතෙක් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි සී.ආර්. කණ්ඩායමට එහි තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමටද සිදුවිය.  

කෙසේ වුවත් තරගය තුළදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු බැගින් හිමිවිය. ඒ අනුව හැව්ලොක්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 7 ක් සමග මුලු ලකුණු 42 ක් ලබා සිටින අතර සී.ආර්. කණ්ඩායම ප්‍රසාද ලකුණු 7 ක් සමග ලකුණු 37 ක් ලබා සිටියි. එම කණ්ඩායම් දෙකට මැදිව දෙවැනි ස්ථානයේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 6 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 41 කි. 

කොළඹ, හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 31-13 ක් ලෙස පෙරමුණ ගත් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 22 ක් එක්කර ගත්හ. සී.ආර්. කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු 29 ක් රැස්කිරීමට සමත් වුවද, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය හැව්ලොක්ස් කණ්ඩායමට හිමි විය.  

පළමු අර්ධය තුළදී ගෝල දිනුම් 3 ක් සහ උක්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් හැව්ලොක්ස් ක්‍රීඩකයන් දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක්  මගිනි. සී.ආර්. ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින්ද, දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 3 ක් මගින්ද ලකුණු ලබාගත්හ. 

එහිදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් චේතන රාජරත්න සහ ජයතු රාජරත්න උත්සාහක දිනුම් 4 බැගින් ලබාගත් අතර සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ගැමුණු චේතිය උත්සාහක දිනුම් 2 ක්ද, චමෝද් මුතුනායක, රැන්ඩි සිල්වා, තිනෙත් දෙව්සර, තේනුක නානායක්කාර, අදීෂ වීරතුංග එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. හැව්ලොක්ස් කණ්ඩායමේ මූෂීන් ෆලීල් එහිදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය. 


අදහස් (0)

සී.ආර්. අපරාජිත බව හැව්ලොක්ස් බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.