Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පාපැදියෙන් හඳට යන ප්‍රංශ සවාරිය

පාපැදියෙන් හඳට යන ප්‍රංශ සවාරිය

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රථමයාට රුපියල් කෝටි 8 යි.
දෙවැන්නාට රුපියල් කෝටි 4 යි.
තුන් වැන්නාටත් රුපියල් කෝටි දෙකක්.
ජයග්‍රාහකයන්ට මුදලින් පමණක් ත්‍යාග පිරිනමන ලෝකයේ පැරණිම පාපැදි තරගය වන ප්‍රංශ පාපැදි සවාරිය සෙනසුරාදා සවස 15.15 ට උතුරු ජර්මනියේ ඩ්‍රොසොල්ඩ්‍රොප් නගරයෙන් ඇරඹිණ.

කි:මී: 14ක දුර ප්‍රමාණයක් තනි තනියෙන් පාපැදිය පැදයමින් මෙවර ප්‍රංශ සවාරිය ඇරඹුණ අතර  විවිධ රටවල් 14 ක ලෝක ප්‍රසිද්ධ පාපැදි සංගම් නියෝජනය කරමින් කණ්ඩායම් 22 ක් මෙවර තරගයට එක්ව සිටිති. තරඟ කරුවෝ 198 ක් ප්‍රථම දින තරඟයට සහභාගි වූහ.

බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස් පෝර්ම්, ප්‍රංශ ජාතික රෝමෙන් බාර්ඬේ, කොලොම්බියානු ජාතික නයිරෝ කුවින්ටානා, ස්පාඤඤ ජාතික ඇල්බර්ටෝ කොන්ටඩෝර්, ඕස්ට්‍රේලියානු ජාතික රිචී පෝර්ත්, ජර්මන් ජාතික ටෝනි මාර්ටින් ස්ලෝවේනියානු ජාතික පීටර් සෙගාන් යන සයිකල් ශූරයෝ මෙවර සවාරියේ ඉදිරියෙන්ම සිටින තරගකරුවන් ලෙස සැලකේ.

අදියර 21කින් අවසන් වන මීටර් 2642 ක් උසැති කඳු මුදුන් තරණය කරමින් 23,000ක් වූ පොලිස් ආරක්ෂාව මැද ජර්මනිය, බෙල්ජියම, ලක්සම්බර්ග්, ප්‍රංශය යන රටවල් හරහා කි:මී: 3540ක් මෙවර ප්‍රංශ සවාරිය ඇදී යයි.

70 දශකයේ මුල් කාර්තුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය ක්‍රීඩාවන් කිහිපයක් තිබුණි. වොලිබෝල්, පාපන්දු, බයිසිකල් රේස් ඒ දිනවල ලංකාව තුළ ඉතා ප්‍රසිද්ධ හා ජනප්‍රිය වී තිබූ බව එකල ක්‍රීඩාලෝලි ලක් වැසියෝ දනිති. මෙම ක්‍රීඩාවන්ට සමගාමීව ශ්‍රී ලංකාදීප පුවත්පත අනුග්‍රහායෙන් වාර්ෂිකව පැවැත් වූ ලංකාව තුල ජනප්‍රිය ක්‍රීඩාවක් විය. එය දීපශිකා නම් වූ සමස්ත ලංකා දීපශිකා බයිසිකල් සවාරියයි.

දින ගනනාවක් ශ්‍රී ලංකාව පුරා පැවැති මෙම පාපැදි තරග බැලීමට වතුර පුරවාගත් භාජන අතැතිව අප කුඩා කල පාර දෙපස රැදී සිටි අයුරු අද ද මතකයට නැඟේ. ඒ. එම්. සුමනවීර, මොරිස් කූමාරවේල්, බොනිෆස් පෙරේරා, කිංස්ලි මෙන්ඩිස් ආදීන් ඒ දිනවල ලංකාවේ සිටි අති දක්‍ෂ සයිකල් ශූරයෝ ව සිටියහ. සුමනවීර සහ බොනිෆස් කඳූ තරණයටද, කුමාරවේල් හා කිංස්ලි මෙන්ඩිස් තැනිතලාවටද ශූරයෝ  ලෙස කොල්ලෝ කුරුට්ටෝ වු අපගේ  තක්සේරුවයි.

එදා මෙන් ජනතාව අතර ජනප්‍රිය වූ සිත් ඇඳ බැඳ ගන්නා පාපැදි තරග දැන් අප රට තුල එතරම් නැතත් ලෝකයේ බොහෝ රටවල් එදාට වඩා උත්කර්ෂවත් ලෙසින් දැන් දැන් පාපැදි තරග පවත්වති.

වසර මුලදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු පාපැදි සවාරිය, ඉතාලි පාපැදි සවාරිය, ස්පාඤ්ඤ පාපැදි සවාරිය, කැලේෆෝනියා පාපැදි සවාරිය එවැනි පාපැදි තරග කිහිපයකි. මෙම තරග වලට ඉදිරිපත්වන ක්‍රීඩකයෝ වෘත්තීය පාපැදි ක්‍රීඩකයෝ වෙති.

ප්‍රංශ සවාරිය ලෝකයේ පැරණිම පාපැදි සවාරියයි. පළමු හා දෙවන යුධ සමයන්හී වර්ෂ ගණනාවක් ප්‍රංශ සවාරිය පවත්වා නොමැති හෙයින් මෙම වර්ෂයේ පවත්වන්නේ එහි 104 වැනි සවාරියයි.

ප්‍රංශ සවාරිය ජූලි මස මුල් සතියෙන් ආරම්භවී දින 21 කට පසුව අවසන්වේ. එය නීතිගත නොවු එදා සිට  සම්ප්‍රදායානුකූලව පැවැත එන සිරිතකි. එයට ප්‍රධානම හේතුව මෙම සවාරිය ආරම්භ කලේ 1903 ජූලි 01 වෙනිදා වීමයි.

ජූලි මාසයත් සමගින් ප්‍රංශ සවාරියෙන් අවදි වෙන ප්‍රංශ ජාතිකයෝ එම සවාරියෙන්ම දවස නිමාකර නින්දට යති. 2013 දී ලොව ප්‍රථම සියවෙනි සයිකල් සවාරිය සමරන්නේ ප්‍රංශයයි. එයද ඉතිහාසයට එක්වන අමරණීය සිහිවටනයකි.

ප්‍රංශ සවාරිය ලොව විශිෂ්ටතම පාපැදි සවාරිය වීමට හේතු රැසකි.

ලෝකයේ අති පැරණිතම පාපැදි සවාරිය මෙයයි. ලොව සිටින හොදම සයිකල් ශූරයෝ සියල්ලෝම ප්‍රංශ සවාරියට තරග වදිති. ලොව ඇති හොඳම හා ප්‍රසිද්ධ පාපැදි ක්‍රීඩා සමාජයන් මෙයට එක්වෙති. වැඩිම දුර ප්‍රමාණයක් පැවැත්වෙන පාපැදි සවාරියද එයයි.

ජයග්‍රහාකයන්ට වැඩිම මුදලක් ගෙවන්නේ ප්‍රංශ සවාරියෙනි. ලෝකයේ වැඩිම පිරිසක් මෙය නරඹති. රූපවාහිනි චැනලයන් 118 කින් විකාශනය කෙරේ. ගුවන් විදුලි තරංඟ මාලා 75 කි. ලෝක ප්‍රසිද්ධ ක්‍රිඩා පුවත් හා සඟරා 398 ක ප්‍රධාන මාතෘකාව ප්‍රංශ සවාරියයි. වෙබ් අඩවි 61 ක්ද ජාතීන් 41 කට අයත් ජන මාධ්‍යවේදීන් 2500 ක් පමණද මේ සදහා සහාභාගි වෙති.

ප්‍රංශ සවාරිය ලෝකයේ රටවල් 186 ක රූපවාහිනි නාලිකා හි ප්‍රදර්ශනය වන අතරම රටවල් 60ක සජීවි විකාශනයන් කෙරේ. ප්‍රංශ සවාරිය පාපැදි ක්‍රීඩාවේ ලෝක කුසලානය ලෙස හැදින්වුවද එහි කිසිදු අතිශෝක්තියක් නොමැත.

ඇමෙරිකානු ජාතික ලාන්ස් ආම්ස්ට්‍රෝං ප්‍රංශ සවාරිය වැඩිම වතාවක් ජයගත් (7 වරක්) ශූරයා ලෙස ඉතිහාසයට එක් වුවද තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවීම නිසා එම ස්ථානය අහිමි කර ගත්තේය. එනමුදු ප්‍රංශ සයිකල් සවාරි ඉතිහාසයේ ඔහුගේ නාමයට හිමි ස්ථානය එසේමය.

ඔහුට පෙර ස්පාඤා්ඤා ජාතික මයිකල් ඉන්ඩුරාන්, ඇමෙරිකානු ජාතික ග්‍රෙග් ලෙමොන්ඞ්, ප්‍රංශ ජාතික ලෝරන්ට් පිනියුන්, බර්නාර්ඞ් හිනොල්ට්, ජර්මන් ජාතික ඉයන් උල්රිච්, ඉතාලි ජාතික මාර්කෝ ෆැන්ටනී යන සයිකල් ශූරයෝ ප්‍රංශ සවාරියේ දෙවරකට වඩා ජයගත් ශූරයෝ වෙති.

සෑම වසරකම ප්‍රංශ සවාරිය ගමන් කරන මාර්ගය බොහෝ විට වෙනස් කරනු ලැබේ. කඳූ බෑවුම්, කඳූ මුදුන්, තැනිතලා ගල් බොරලු යන හැම බාධකයක්ම එම දුර ප්‍රමාණයට ඇතුලත් වෙති. සවාරියේ අතුරු  ඵලයන් ලෙස සෑම දිනකම සවාරියේ ආරම්භක හා අවසන් නගරයන්; ඊට වර්ෂයකට පමණ පෙර සිට අළුත් වැඩියා කෙරේ.

හොඳ තත්වයේ ඇති විශාල මං මාවත් පවා තව තවත් නවීන තාක්ෂණය ඇසුරෙන් උසස් ප්‍රමිතීන්ට ගෙන එයි. ඒ අනුව මේ දක්වා ප්‍රංශය තුල විශාල මාර්ග පද්ධතියක් ප්‍රංශ සවාරියට සමගාමිව දියුණු  කර ඇත. නගර හා ගම් දියුණු කර ඇත. ප්‍රංශ සවාරිය යනු ප්‍රංශ භූමිය වැඩි දියුණු කරවන එක්තරා ව්‍යාපෘතියක් ලෙස හැදින්විමේ වරදක්ද නැත. මෙම අවුරුදු 104 තුළ ප්‍රංශ සවාරිය සඳහා යොදාගත් මාර්ගවල දුර ප්‍රමානය කිලෝ මීටර් 356,000ක් පමන වන අතර එය පෘතුවියත් හඳත් අතර දුර ප්‍රමාණයට ඉතාමත් ආසන්නය.

විවිධ නගර ආරම්භක ස්ථානය ලෙස යොදාගන්නා නමුත් ප්‍රංශ සවාරිය අවසන් වන්නේ ප්‍රංශයේ අගනුවර වූ පැරීසියේදීය. පසුගියදා ත්‍රස්තවාදී ප්‍රහාර දෙකක් සිදුවූ ලෝකයේ ලස්සනම මාවත ලෙස හඳූන්වන පරාදීසයේ ක්‍ෂේම භූමිය වූ ‘ඇවනිව්  ඩෙ ෂොම් සෙඑළිෂේ’ යන සුප්‍රසිද්ධ මාවතේ  වට 10 කින් පසු ප්‍රංශ සවාරිය ජුලි මස 23 වෙනි ඉරු දින අවසන් වීමට නියමිතය..

එදිනට මෙම භූමිය සැණකෙළි භූමියකි. බැලු බැලු අත විවිධ හැඩයේ බයිසිකල් දැක ගත හැක. ඒ දවස බයිසිකල් සැණකෙළියකි. මිනිස් හිස් ගෙඩි වලින් මුළු මාවතම වැසී තිබේ. උත්කර්ෂවත් සිරියෙන් බැබලෙති.

ලෝකයේ ලස්සනම මාවත එදිනට බයිසිකල් පරාදීසයේ ක්‍ෂේම භූමියකි .

 

 


අදහස් (0)

පාපැදියෙන් හඳට යන ප්‍රංශ සවාරිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.