Last Update  :  2025-06-29 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පරාජය හමුවේ සෙරීනා වියරු වැටෙයි

පරාජය හමුවේ සෙරීනා වියරු වැටෙයි

Nisanka Sandeepani - 2018 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී සෙරීනා විලියම්ස් පරාජය කළ නයෝමි ඔසාකා, ප්‍රධාන පෙළේ (ග්‍රෑන්ඞ් ස්ලෑම්) ටෙනිස් ශූරතාවක් ජයගත් පළමු වැනි ජපන් ක්‍රීඩිකාව ලෙසින් ඉතිහාසයට එක්වූවාය. නිව්යෝක් නුවරදී සෙනසුරාදා (8 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී 6-2 සහ 6-4 ක් ලෙසින් නයෝමි ඔසාකා විසින් සෙරීනා විලියම්ස් පරාජය කරන ලදි. 

සෙරීනා පසුගිය වසරේදී මව් පදවිය ලැබීමෙන් පසුව නැවතත් ප්‍රධාන පෙළේ ටෙනිස් තරග වලට අවතීර්ණ වූ නමුත් ශුරතාවක් දිනාගැනීමට අපොහොසත් වූවාය. මේ වසරේ විම්බල්ඩන් තරගාවලියේදී මෙන්ම ඇමරිකානු විවෘත තරගාවලියේදීත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් සෙරීනා එම අවසන් මහ තරග දෙකේදීම පරාජය වූවාය. 

මීට ඉහත අවස්ථා හයකදීම ඇමරිකානු විවෘත ශූරතාව දිනා සිටින සෙරීනා හමුවේ ආක්‍රමණශීලී ආරම්භයක් ලබාගත් ඔසාකා දෙවතාවකදීම පළපුරුදු ක්‍රීඩිකාව අභිබවා ගියාය. විනාඩි 33 කදී පළමු වටය ජයගත් ඔසාකාට දෙවැනි වටයේදී කිසිදා මුහුණ නොදුන් ආකාරයේ අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවිය. 

සෙරීනාගේ පුහුණුකරු පැට්ට්‍රික් මොරටෙග්ලූ විසින් ප්‍රේක්ෂකාගාරයේ සිට ඇයට උපදෙස් දීමට උත්සාහ කිරීම නිසා සෙරීනාට ආචාර ධර්ම බිඳ හෙළීමේ චෝදනාව එල්ල වූ අතර එයින් කෝපයට පත් ඇය තමන්ගේ ටෙනිස් පිත්ත පොළොවේ ගැසුවාය. එය තවත් වැරැද්දක් විය. මේ හේතුවෙන් සෙරීනාගේ ප්‍රතිවාදිනිය වූ ඔසාකාට ලකුණක් ප්‍රදානය කෙරිණ. 

මෙම සිදුවීමෙන් මහත් කෝපයට පත් සෙරීනා “මම වංචා කරලා තරග දිනන්නේ නෑ. ඒ වෙනුවට පරදිනවා” යයි කියමින් තරග විනිසුරුවයාට බැණ වැදුණේය. ඒ සමගම වාගේ තරග විනිසුරුවරයා සමඟ උණුසුම් වාග් සංග්‍රාමයක පැටළුණු සෙරීනාට එරෙහිව දඬුවම් ලකුණු ද ප්‍රදානය කෙරිණ. මේ සියලු කලබෑනි අතරේ නිසොල්මන්ව සිටි ඔසාකා තරගයේ වාසිය අත්පත් කරගත්තේය. 

කඳුළු පිරි නෙතින් ආපසු පන්දුව පිරිනැමීමට ගිය සෙරීනා තරගය අවසන් කළේ 6-4 ක් ලෙසිනි.

ජය සංකේත ප්‍රදාන කෙරුණු අවස්ථාවේදී ඇතැම් ප්‍රේක්‍ෂකයෝ හූ කියමින් සරදම් කළහ එහෙත් හූ කීවේ ජපන් ක්‍රීඩිකා නයෝමිටද නැතිනම් තමන්ගේම රටේ ක්‍රීඩිකාව වූ සෙරීනාගේ අශෝභන හැසිරීමටද යන්න පැහැදිළි නොවීය. 

අනුශූරතාව අතට ගැනීමෙන් පසුව සෙරීනා නැවත වරක් වචන හරඹයට පිවිසියාය. රූපවාහිනී නිවේදකගේ මයික්‍රෆෝනයට ඇය කතා කළාය. 

“නුඹලාට මම එකක් කියන්නම්...ඇය (නයෝමි ඔසාකා) ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා විතරක් නෙමේ මේක ඇයගේ පළමු වැනි ප්‍රධාන පෙළේ ශූරතාවයි. ඒත් මම දන්නවා නුඹලා වගේම මමත් දැඩිව ප්‍රතිචාර දැක්වූවා. ඒත් අපි මේක අපේ හොඳම අවස්ථාව කරගනිමු”

“අපි තවදුරටත් හූ කියන්න ඕන නෑ. මේක මෙතැනින් ඉවර කරමු. ඔබට සුබ පැතුම් නයෝමි.....මේක මට ඉතාමත් අමාරු වසරක් තමයි. එත් ඔබ සියලු දෙනාට ස්තුතියි” යයිද සෙරීනා පැවසුවාය. 

මාග්‍රට් කෝට්ගේ ප්‍රධාන පෙළේ ශූරතා 24 ලෝක වාර්තාව හඹා ගිය සෙරීනාට ඒ වෙනුවෙන් අවශ්‍ය වූයේ තවත් එකක් පමණි. සෙරීනා මේ වන විටත් ප්‍රධාන පෙළේ ශූරතා 23 ක් ජයගෙන සිටින්නීය. එහෙත් විම්බල්ඩන් තරගාවලියේදී මෙන්ම ඇමරිකානු විවෘත තරගාවලියේදීත් අවසන් මහ තරගයට පිවිසි සෙරීනා පරාජය වූවාය. එම අවස්ථාව උදාකරගැනීම සඳහා ඇයට ලබන වසර මුලදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලිය පැවැත්වෙන තෙක් බලා සිටීමට සිදුවෙයි. 

 


අදහස් (0)

පරාජය හමුවේ සෙරීනා වියරු වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.