Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පිහිනුම් ක්‍රීඩාවෙන් අකලට සමුගැනීමේ අවාසිය

පිහිනුම් ක්‍රීඩාවෙන් අකලට සමුගැනීමේ අවාසිය

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
දකුණු ආසියාවෙන් එපිටට ගිය ජාත්‍යන්තර මට්ටටම් පදක්කමක් දිනා ගැනීමට හැකියාව ඇති දක්ෂ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පාසල් මට්ටමින් සහ ක්‍රීඩා සමාජ මට්ටමින් සිටියත් නියමිත කාලයට පෙර ඔවුන් ක්‍රීඩාවෙන් සමුගැනීම බලවත් ප්‍රශ්නයක් වී ඇතැයි ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ලේකම් මිගාර ගුණතිලක මහතා පවසයි.
 
“දකුණු ආසියානු මට්ටමින් එපිට ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩක් සිටිනවා. නමුත්  එම දක්ෂතා ඇති ක්‍රීඩක පිරිස වයස අවුරුදු 19 හෝ 20 අතර වනවා.  විශේෂයෙන් ඔවුන් උසස් පෙළ විභාගගයෙන් පසු ක්‍රීඩාවෙන් සමුගැනීම මෙරට පිහිනුම් ක්‍රීඩාවේ ඉදිරි ගමනට විශාල බාධාවක් වී තිබෙනවා” යැයි මිගාර ගුණතිලක මහතා පවසයි. 
 

කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වූ ගුණතිලක මහතා පාසල් මට්ටමේ සහ ජාතික මට්ටමින් පිහිනුම් ක්‍රීඩාවෙන්  දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වන අතර වෘත්තීයෙන්  ඉංජිනේරුවරයෙකි.

 
“ පිහිනුම් ක්‍රීඩාවෙන් අද ලෝකයේ ඉදිරියට ගොස් සිටින ඇමරිකාව ප්‍රමුඛ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනා ගැනීමේ වයස් සීමාව සාමාන්‍ය අවුරුදු 25 ක් හෝ 26 ක් වෙනවා. නමුත් අපේ රටේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ වයස් සීමාව  වන විට ක්‍රීඩාවෙන් සමුගෙනත්  අවසන්. 
 
අපේ අය  පාසල් මට්ටමේදී සිය කුසලතා උපරිම මට්ටමට ගෙන යනවා. ඔවුන් පාසල් මට්ටමේදී තමයි බොහෝ විට ඔලිම්පික්, ලෝක ශූරතා සහ ආසියානු ක්‍රීඩා වැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරග වලට සහභාගි වෙන්නෙ.
එවිට ඔවුන්ට තරග කරන්න සිදුවෙන්නේ වයස අවුරුදු 25, 26 සිටින ලොව පිළිගත් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟයි. එතන වයස් සීමාවේ විතරක් නෙමේ ලබා ඇති පුහුණුවේත් ලොකු පරතරයක් තියෙනවා. 
 
ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ වැරදි ක්‍රමවේදයන්. ඒ නිසා  අපේ  රටේ වයස අවුරුදු 25, 26 ඉන්න පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැහැ. ඒකට හොඳම උදාහරණය  තමයි මැතිව් අබේසිංහ. ඔහු අද ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රධානම පිහිනුම් ක්‍රීඩකයා. ඒ වගේම අඩු වයසින් ඔලිම්පික් ගිය ක්‍රීඩකයා. ඔහු තව වරක් හෝ දෙවරක්  ඔලිම්පික් යයි. නමුත්  ඇමරිකාව වැනි රටවල ක්‍රීඩකයින් ඔලිම්පික්  පදක්කම්  දිනන මට්ටමට එනකොට  (අවුරුදු 25, 26) මැතිව් අබේසිංහලාගේ දක්ෂතා අඩුවෙන්න පුළුවන්. මේ වයස් සීමා පරතරය නිසා අපිට පිහිනුම් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න අපහසු වෙලා තියෙනවා ”යැයි ගුණතිලක මහතා පැවසීය.    
 
ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩාවේ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා  ජල ක්‍රීඩා සංගමය විශේෂ විධි විධාන යොදා ඇත. 2016 වසරේ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්දම් 12ක්, රිදී පදක්කම් 16ක්  සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගැනීමට සමත් විය.
“ජල ක්‍රීඩා සංගමය පිහිනුම් ක්‍රීඩාව සම්බන්ධව අධි තක්සේරුවකින් කටයුතු කරන්නේ නෑ. ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල. 
 
ක්‍රීඩා උළෙලට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා  සහ ජාතික සංගම්   අතර පැවති බොහෝ සාකච්ඡා වලදී බොහෝ  ජාතික සංගම් විශාල වශයෙන් පදක්කම් දිනන බවට අමාත්‍යවරයා  ඉදිරියේ පැවසුවා. නමුත් සංගම් කියූ විදිහට පදක්කම් දිනුවා නම් ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඉන්දියාව පවා අභිබවා යනවා. 
 
පිහිනුම් සංගමයක් විදිහට අපි අධි තක්සේරුවෙන් මවාපෑම් කළේ නැහැ. නමුත් මැතිව් හා කිමිකෝ දිනපු  රන් පදක්කම්  සහ සෙසු  අය දිනූ රිදී  සහ ලෝකඩ පදක්කම් අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පදක්කම් දිනාගෙන  තිබෙන්නේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්. පිහිනුම් සහ මලල ක්‍රීඩා තමයි ශ්‍රී ලංකාවේ ගෞරවය යම් අයුරකින්   හෝ බේරාගත්තේ” යැයි ජල ක්‍රීඩා ලේකම්වරයා පවසයි.
 
ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩාක ක්‍රීඩිකාවෝ 4000 කට ආසන්න සංඛ්‍යාවක් පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි වී සිටිති. එම ක්‍රීඩාව ප්‍රධාන වශයෙන්  කොළඹ සහ මහනුවර ප්‍රදේශ වල ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව මීගමුව, ගම්පහ, කුරුණෑගල, අම්බලන්ගොඩ  යන නගර ආශ්‍රිතව ද ක්‍රියාත්මක වේ. මෙරට පිහිනුම් ක්‍රීඩාව සඳහා පුහුණුකරුවෝ 300-400 අතර සංඛ්‍යාවක් සිටිති.
 
“අපට විදෙස් විශේෂඥ පුහුණුකරුවන්ගේ සේවයක් කිසිවිටක අවශ්‍ය වන්නේ නැහැ. එයට හේතුව අපේ පුහුණුකරුවන්ගේ තාක්ෂණික දැනුම ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. නමුත් ජාත්‍යන්තර  වශයෙන් පිහිනුම් ක්‍රීඩාවේ තාක්ෂණික දැනුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පවතිනවා.
 
එම නිසා කෙටි කාලීනව විදෙස් පුහුණුකරුවන්  මෙරටට ගෙන්වා  ජාත්‍යන්තර දැනුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම  ඉදිරියට එන තරුණ පුහුණුකරුවන්ට ලබා  දීමට අපි කටයුතු කරනවා”
 
“අපි  හැම තිස්සේම බලන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනන පදක්කමට වඩා ඔවුන්ගේ පෞද්ගලික තරග නිමි කාලය වර්ධනය පමණයි” යැයි ජල ක්‍රීඩා ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
 

අදහස් (0)

පිහිනුම් ක්‍රීඩාවෙන් අකලට සමුගැනීමේ අවාසිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.