Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner නිලධාරීන්ගේ වරදින් චීන තරගාවලිය අහිමි වෙයි

නිලධාරීන්ගේ වරදින් චීන තරගාවලිය අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසා ලබාගැනීමේ ප‍්‍රමාදය හේතුවෙන් චීනයේ ‘ගුවැංෂු’ නගරයේදී හෙට (23) පැවැත්වෙන චීන ආරාධිත පාපැදි තරගය අත්හැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම පාපැදි තරගයට කී‍්‍රඩකයන් හය දෙනකුගෙන්  සමන්විත අනුරාධපුර කණ්ඩායම සහභාගිවීමට සූදානමින් සිටියේය.

 ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ  ප‍්‍රධානීන්ගේ ඇල්මැරුණු කි‍්‍රයාකලාපය නිසා මෙම පාපැදි තරගය අත්හැර දැමීමට සිදුවූ බවට චෝදනා එල්ල වේ. පාපැදි සම්මේලන සභාපතිවරයා ඒ සඳහා අනුමැතිය ලබාදීමේදී අනුගමනය කළ බව කියන උදාසීන ප‍්‍රතිපත්තිය නිසා මෙම තත්ත්වය උද්ගතවූ බවද පාපැදි සම්මේලන අරංචි මාර්ග සඳහන් කරයි.

යුද හමුදා කී‍්‍රඩකයන් වන රන්දික ජයසිංහ, හසිත චානක, ගුවන් හමුදා කී‍්‍රඩක අෂේන් තාරක, නාවික හමුදා කී‍්‍රඩක පසිඳු ලක්‍ෂාන්, දෙහිවල - ගල්කිස්ස කී‍්‍රඩක සුරංග රණවීර හා වරාය කී‍්‍රඩක කසුන් නිමේෂ් මෙම චීන තරග සංචාරයට සහභාගිවීමට සූදානමින් සිටියහ. මෙම කණ්ඩායමේ කළමනාකරු ලෙස අනුරාධපුරය දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ ලේකම් හා පාපැදි සම්මේලනයේ තාක්‍ෂණික හා මාධ්‍ය කමිටු ලේකම් උපුල් චන්දන පි‍්‍රයනාත් මහතාද මෙම තරග සංචාරයට නම්කර තිබුණි.

මෙම සංචාරය අහිමි වී යාමෙන් සංචාරයට සූදානමින් සිටි කී‍්‍රඩකයන් වඩාත් කණස්සල්ලට පත්ව සිටින්නේ මෙම සංචාරයේ සියලූ වියදම් චීන තරග සංවිධාකයන් දරන නිසාය.

තරග සංචාරය අහිමිවීම ගැන ඊට සූදානමින් සිටි කී‍්‍රඩකයන් කීපදෙනකු ‘ලංකාදීප’යට පැවසුවේ, මෙම සිදුවීමේදී පාපැදි සම්මේලනයේ ඇතැම් ප‍්‍රධානීන්ගේ කි‍්‍රයා කලාපය පිළිබඳව තමන් දැඩි කළකිරීමට පත්ව සිටින බවයි.

”චීන තරග සංවිධායකයන් අපේ සියලූ වියදම් දරා සිටියදී පාපැදි සම්මේලනයේ මේ අතපසුවීමට සමාවක් දෙන්න බෑ” යයිද ඔවුහු වැඩිදුරටත් පැවසීය.

අන්තර් ජාතික පාපැදි විනිසුරුවරයකු මෙන්ම අනුරාධපුරය දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ සභාපති එන්. කරුණාරත්න මහතා චීන පාපැදි තරග සංවිධායකයන් සමඟ ඇතිකර ගෙන තිබෙන සබඳතා මත පසුගිය කාලයේදී චීනයේ පැවති මෙවැනි පාපැදි තරග තුනකට  සහභාගිවීම සඳහා ආරාධනා ලැබිණ. එහිදී විශේෂ සිදුවීමක් වන්නේ එම තරග සංචාර තුනේදීම කණ්ඩායමේ කළමනාකරු ලෙස නම් කරන ලද උපුල් චන්දන පි‍්‍රයනාත් මහතාට එම අවස්ථා තුනම මගහැරී යාමය.

චීන පාපැදි සවාරියේ ආරාධනාව ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසු ඒ සඳහා අනුමැතිය ලබාදීමට පසුගිය අපේ‍්‍රල් 7 වැනිදා රැස්වූ පාපැදි  සම්මේලන විධායක කමිටුව තීරණය කළේය. එසේ වුවත් ඒ සඳහා සම්මේලනය සභාපතිවරයාගේ අනුමැතිය ලැබීම දිගින් දිගටම ප‍්‍රමාදවීම හමුවේ ඒ සම්බන්ධයෙන් එහි නිලධාරීන් පිරිසක් කී‍්‍රඩා ඇමැතිවරයා දැනුම්වත් කර සිටි බවද වාර්තාවේ.

හෙට (23) ගුවැංෂු නගරයේදී පැවැත්වෙන කිලෝමීටර් 151ක් දුරැති මෙම පාපැදි සවාරය සඳහා යුරෝපයේ හා ආසියාවේ රටවල් 10ක කණ්ඩායම් ආරාධනා ලබා තිබේ.

 


●●●

 


අදහස් (0)

නිලධාරීන්ගේ වරදින් චීන තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.