Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සංගම් 05කින් සභාපතිට චෝදනා

සංගම් 05කින් සභාපතිට චෝදනා

editorial - 2024 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

විශේෂ මහ සභා රැස්වීම් දෙකකදීම අනුමත කරගත් නිලවරණ කමිටුව වැළැක්වීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් සභාපතිවරයා ගන්නා අනීතික උත්සාහයන් තුළ ඉදිරියේදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ පූර්ණ තහනමකට ලක්වීමේ අවදානමක් උද්ගතව ඇතැයි කොළඹදී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී දිස්ත්‍රික් පාපැදි සංගම් පහක ප්‍රධානීහු පැවැසූහ.

කළුතර දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති සුදේෂ් ද සිල්වා, ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති සුමිත් බාලසූරිය, අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්දන ප්‍රියනාත්, කුරුණෑගල දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති කුමාර මොලගොඩ සහ කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් අශෝක කුමාර පෙරේරා යන මහත්වරුන්ගේ සභාපතිත්වයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

මාර්තු 26 වැනිදා කැඳවූ විශේෂ මහ සභා රැස්වීමේදී බහුතර කැමැත්තෙන් යෝජනා සම්මත වූ නිලවරණ කමිටුව ක්‍රියාත්මක කිරීම අනීතිකව වැළැක්වීමට උත්සාහ ගනිමින් සිටින පාපැදි සම්මේලනයේ වත්මන් සභාපතිවරයා සහ ලේකම්වරයාට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා, නිසි විනය ක්‍රියාමාර්ග ගැනීම, වසර තුනක් තිස්සේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට පත් වූ නිලධාරීන් අන්තර්ජාතික පාපැදි සම්මේලනය විසින් පිළි නොගන්නා තත්වයක බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙන් තෝරාගත් ස්වාධීන නිලවරණ කමිටුවට සාධාරණ නිලවරණයක් පැවැත්වීම සඳහා පහසුකම් සලසන ලෙසත් ඔවුහු මෙම මාධ්‍ය කමිටුවේදී ඉල්ලා සිටියහ.

 

මාධ්‍ය හමුවේදී ඔවුන් ඉදිරිපත් කළ චෝදනා ලුහුඬින් මෙසේය.

මාර්තු 12 වැනිදා රාත්‍රී 10.00ට පමණ හදිසි විධායක සභා රැස්වීමක් කැඳවමින් එදින දහවල් පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී අනුමත කරගත් නිලවරණ කමිටුව අනීතිකව අහෝසි කරමින් පාපැදි සම්මේලනයේ සභාපතිවරයා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම. ඒ සඳහා සහභාගි වී ඇත්තේ විධායක සභිකයන් පස් දෙනකු පමණක් බවට හෙළිදරව් වීම.

පුවත්පත් වාර්තාවක් පමණක් පදනම් කරගනිමින් නිර්දේශ කළ නිලවරණ කමිටුවේ සභාපතිවරයාට විෂමාචාර චෝදනා කරමින් පාපැදි සම්මේලනයේ සභාපතිවරයාගේ හැසිරීම තුළ නිලවරණ කමිටුව පත් කරගැනීමේ සමස්ත ක්‍රියාවලියම කඩාකප්පල් කිරීමේ තැත.

පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාව සහ ක්‍රීඩා පනතේ නියෝග අති විශේෂ ගැසට් පත්‍රය (2018) නියෝග උල්ලංඝනය කිරීමට එම ක්‍රියාවන්  තුළින් දැනුවත්වම උත්සාහ කිරීම.

මාර්තු 26 වැනිදා පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ටියුඩර් ජයසූරිය මහතා යෝජනා කළ නිලවරණ කමිටුවේ නාමයෝජනා සඳහා පෙර දැනුම් දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවීම.

එකී නාමයෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය තුළින් යළිත් ස්වාධීන නිලවරණ කමිටුව කඩාකප්පල් කිරීමෙන් විශේෂ මහ සභාවේ බහුතර මතයට ඉඩ නොදීම සහ ආචාරධර්ම කඩ කිරීම.

සුදේෂ් ද සිල්වා මහතාගේ යෝජනාවට සාමාජිකයන් 36 දෙනකු (බහුතර) අත ඔසවා කැමැත්ත පළ කර සිටියදීත්, එය වළක්වා නැවත ඡන්දය විමසීම සඳහා සාමාජිකයන් ප්‍රසිද්ධියේ කැඳවීම.

පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාවේ 25 (සී), 20 (ජී) උල්ලංඝනය කිරීම.

බහුතර කැමැත්තට ඉඩ නොදෙමින් පාපැදි සම්මේලනයේ සභාපති, ලේකම් සහ උප සභාපතිවරයෙකු එක්ව මහ සභාව ගත් තීරණ පසෙක දමා නිලවරණ කමිටුව පත් කරගැනීමට සම්මේලනයේ විධායක සභාවට පවරන බව කියමින්, එය අවසන් කිරීමට පෙර මහ සභාවෙන් ඉවත්ව යාම.

ඒ අනුව, නිලවරණ කමිටුව පත් කරගැනීමේ සමස්ත ක්‍රියාවලියම කඩාකප්පල් කරමින් විශේෂ මහ සභා රැස්වීම් දෙකක් අවලංගු කිරීම.

ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයක් කැඳවීමේදී එය මෙහෙයවන කමිටුව පත් කරගැනීම 2089/56 දරන අති විශේෂ ගැසට් නියෝගය මගින් මහ සභාවකට පමණක් පැවැරෙන කටයුත්තක් බැවින්, එම ක්‍රියාවලිය විධායක සභාවට පැවැරීමට ගන්නා උත්සාහයට ක්‍රීඩා පනත සහ පාපැදි සම්මේලන ව්‍යවස්ථාව බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කිරීමකි.

මෙම කරුණු අවධාරණය කරමින් මෙම දිස්ත්‍රික් පාපැදි සංගම් ප්‍රධානීන් පැවැසුවේ, නිලවරණ කමිටුව පත් කරගැනීමේදී විධායක සභාවේ කවර උත්සාහයකට එරෙහි වුව ද, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඊට පෙර මෙම ප්‍රශ්නය ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාමකාමීව විසඳා ගැනීමට තමන් සියලු උත්සාහයන් ගන්නා බවත්, ඒ සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත් වීම තමන් ඉහළින්ම අපේක්ෂා කරන බවත්, ඔවුහු මාධ්‍ය හමුවේදී පැවැසූහ.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සුමිත් බාලසූරිය මහතා, තමා ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ වත්මන් නීත්‍යනුකූල සභාපතිවරයා බවත්, එහි අයිතිය කියා ගන්නා පාර්ශ්වයකට එක්ව සිටින්නේ ක්‍රීඩා සමාජ දෙකක් පමණක් බවත් පැවැසීය. පාපැදි තරග මෙහෙයවීමට තමන්ට ඇති අයිතිය වැළැක්වීමට පාපැදි සම්මේලනයේ වත්මන් නිලධාරීන්ට නොහැකි බවත් ඔහු එහිදී පැවැසීය.

අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවැසුවේ, ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අසුන ජාත්‍යන්තර විනිසුරු එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වයට තවදුරටත් හිමි වන බවත්, ඒ සම්බන්ධයෙන් වර්තමානයේදී නැගෙමින් තිබෙන බාධා කිරීම්වල අවසන් ප්‍රතිඵලය වන්නේ, ශ්‍රී ලංකාවට පූර්ණ කාලීන ජාත්‍යන්තර තරග තහනමක් පැනවීම බවත්ය.


අදහස් (0)

සංගම් 05කින් සභාපතිට චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.