Last Update  :  2025-10-27 19:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩිකාවෝ ලෝක ශූරතාවලියට වරම් ලබති

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩිකාවෝ ලෝක ශූරතාවලියට වරම් ලබති

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඉන්දියාවේ බුබනේෂ්වර් නුවරදී පැවැති 28 වැනි ආසියානු කණ්ඩායම් මේසපන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායම, එහි 12 වැනි ස්ථානයට පත්වෙමින් එළෙබෙන ලෝක කණ්ඩායම් මේසපන්දු ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය. 

ලබන වසරේ (2026) එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන ලෝක කණ්ඩායම් මේසපන්දු ශූරතාවලිය සඳහා ආසියානු කලාපයෙන් කණ්ඩායම් 16 ක් තෝරාගනු ලබන අතර මෙම තරගාවලිය තුළින් ඊට සුදුසුකම් ලබන්නේ කණ්ඩායම් 15 ක් පමණි. ඊට හේතුව මෙම තරගාවලියට සහභාගි නොවූ රටක් වන බහරේනයද ආසියාව නියෝජනය කරමින් ලෝක ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා සිටීමය.  

මූලික වටයේදී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මොංගෝලියාවට එරෙහිව තරග 3-0 ක ජයක් ලැබූ නමුත් තායිලන්තය හමුවේ තරග 3-0 ක් ලෙස පරාජය පත්වූහ. ඒ හේතුවෙන්  ඔවුන්ට තරගාවලියේ 11 වැනි ස්ථානයත්, 14 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. 

තරග සැකැස්මට අනුව එම ස්ථාන 4 සඳහා මැකාවෝ රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාවත්, කසකස්ථානයට එරෙහිව ඉරානයත් තරග වැදිණ. එහිදී මැකාවෝ රාජ්‍යයට එරෙහිව තරග වටයෙන් 3-1 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, තරගාවලියේ 11 වැනි ස්ථානය හෝ 12 වැනි ස්ථානය වෙනුවෙන් සෙසු තරගයේ ජයග්‍රාහකයා වූ ඉරානයට එරෙහිව තරග වැදීමට අවස්ථාව උදාකර ගත්තේය. 

ඉරානයට එරෙහිව පැවැති තරග වටය කේවල තරග 5 කින් සමන්විත වූ අතර එහි මුල් තරග 3 දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වූ තමාදි කාවින්ද්‍යා, බිමන්දි බණ්ඩාර සහ ලෙසන්‍යා සිතුම්දි ඉරාන ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත්වූහ. ශ්‍රී ලංකාව පිට පිටම තරග 3 ක් පරාජයට පත්වීම හේතුවෙන් එහි සිවු වැනි සහ පස්වැනි තරගය අත්හැර දැමිණ.  

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20 ක් සහභාගි වූ අතර ඉන් කණ්ඩායම් 6 ක් (ජපානය, උතුරු කොරියාව, ඉන්දියාව, හොං කොං, දකුණු කොරියාව සහ චීනය) ශ්‍රේණිගත කිරීම් අනුව ඍජුවම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. සෙසු කණ්ඩායම් 14 මූලික වටයේ සිට කාණ්ඩ 4 ක් යටතේ තරගාවලියට සහභාගි විය.

 
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ තරග 
ශ්‍රී ලංකාව විසින් තරග 3-0 ක් ලෙස මොංගෝලියාව පරාජය කරන ලදි. 
තායිලන්තය විසින් තරග 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි. 
ශ්‍රී ලංකාව විසින් තරග 3-1 ක් ලෙස මැකාවෝ පරාජය කරන ලදි. 
ඉරානය විසින් තරග 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි. 


අදහස් (0)

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩිකාවෝ ලෝක ශූරතාවලියට වරම් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.