Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මොහොමඩ් උසෙයිත් පළමු ජය ලබයි
ලෝක ශූරතා බොක්සිං තරගාවලිය

මොහොමඩ් උසෙයිත් පළමු ජය ලබයි

editorial - 2025 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් ජාතික බොක්සිං සංගමයේ සංවිධානත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී පැවැත්වෙන 2025 පිරිමි බොක්සිං ලෝක ශූරතාවලියේදී පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) පැවැති කිලෝ ග්‍රෑම් 71-75 බර පංතියේ මූලික වටයේ තරගයකදී ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මොහොමඩ් උසෙයිත් සමත් විය.

රුවන්ඩා ක්‍රීඩක ඉනසෙන්ට් මු‍ගෙන්ගාට එරෙහිව පැවැති එම මූලික වටයේ තරගයේදී විනිසුරු තීරණ 5-0 කින් ජය ලැබීමට උසෙයිත් සමත් වූ අතර එහිදී විනිසුරුවන් 5 දෙනා ලබාදුන් ලකුණු 30-26 ක්, 30-27 ක්, 30-27 ක්, 30-27 ක් සහ 30-26 ක් ලෙස සටහන් විය. එම බර පංතියේ දෙවැනි වටය යටතේ ඔහු අනිද්දා (7 වැනිදා) යළිත් තරග බිමට පිවිසීමට නියමිතය.

ඊ​යේ පැවැති කිලෝ ග්‍රෑම් 75-80 බර පංතියේ මූලික වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ගයාන් රත්නසිරි එහිදී ප්‍රංශ පොලිනීසියානු ක්‍රීඩක නෝමන් රිකාඩෝ හමුවේ පරාජයට පත්විය. තරගාවලියේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ඩැනියෙල් තිසරආරච්චි කිලෝ ග්‍රෑම් 46-48 බර පංතිය යටතේද, කේ. පද්මසිරි කිලෝ ග්‍රෑම් 67-71 බර පන්තිය යටතේද මූලික වටයේ තරගවලට සහභාගිවීමට සූදානමින් සිටිති.

රටවල් 150 ක ක්‍රීඩකයන් 600 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 8 දෙනෙක් එක්ව සිටිති. ‍මෙම තරගාවලියේ රන් පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 ක් මුදල් ත්‍යාග ලෙස පිරිනමන අතර රිදී පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 1.5 ක්ද, ලෝකඩ පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් 75,000 ක්ද මුදල් ත්‍යාග ලෙස පිරිනැමීමට නියමිතය.

තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සජීව දසනායක මහතා කටයුතු කරන අතර යුද හමුදා පුහුණුකරු දනුෂ් කුමාර, පොලිස් පුහුණුකරු සමීර කරුණාරත්න සහ   සිල්වෙස්ටර් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු චමිත ගයාන් බණ්ඩාර යන මහත්වරු කණ්ඩායමේ සෙසු පුහුණුකරුවන් ලෙස තරගාවලියට එක්ව සිටිති. තරගාවලිය මෙම මස 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

මොහොමඩ් උසෙයිත් පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.