චීනයේදී නැංජින්හිදී පැවැත්වෙන දෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ ස්කොෂ් කී‍්‍රඩාවේ කාන්තා කේවල ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මිහිලියා මෙත්සරණි සමත් වූවාය.
ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ජාතික ස්කොෂ් ශූරිය වන මිහිලියා ආසියානු ශ්‍රේණිගත කිරීමට අනුව වයස 17 න් පහළ තෙවැනි ස්ථානයේ පසු වන්නීය.
අවසන් පූර්ව තරගයේදී මිහිලියා පරාජයට පත්වූ නමුත් ස්කොෂ් ජාත්‍යන්තර නීති අනුව අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වන දෙදෙනාටම ලෝකඩ පදක්කම් හිමිවේ.
අර්ධ අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ දෙවැනි ස්ථානයේ පසුවන ක‍්‍රීඩිකාවට තියුණු තරගයක් දෙමින් මිහිලියා ජයගත්තාය. 15 හැවිරිදි මිහිලියා, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ශිෂ්‍යාවකි.
‘ලංකාදීප’යට අදහස් දැක්වූ මිහිලියා මෙත්සරණි පැවසුවේ මෙම ජයග‍්‍රහණය පිළිබඳව තමන් සතුටු වන බවත් මෙය තම පෞද්ගලික ජයග‍්‍රහණයක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම ජයග‍්‍රහණයක් බවයි.
‘‘මේ ජයග‍්‍රහණය දක්වා පැමිණීමට මට සහයෝගය දැක්වූ සියලූ දෙනාටම ස්තූති කරනවා. ඒ වගේම විශේෂයෙන් මගේ පුහුණුකාරිණියගේ සහ මව්පියන්ගේ කැපවීම මෙහිදී මතක් කළ යුතුයි’’ යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.
මිහිලියාගේ පුහුණුකාරිනිය ලෙස හිටපු ජාතික පුහුණුකාරිනී යස්මින් සරුක් මහත්මිය කටයුතු කරන්නීය. මිහිලියා ඊයේ (19) පස්වරුවේදී සිය පදක්කම පැළඳීමට නියමිතව සිටියාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.