Last Update  :  2024-05-17 16:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බිමන්දි සිවුවැනි වරටත් ජාතික ශූරතාව දිනයි

බිමන්දි සිවුවැනි වරටත් ජාතික ශූරතාව දිනයි

editorial - 2023 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් මහනුවර නරගසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 77 වැනි මේසපන්දු ජාතික ශූරතාවලියේ විවෘත කාන්තා කේවල ශූරතා දිනාගැනීමට මහනුවර හිල්වුඞ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූවාය. බිමන්දි මේසපන්දු ජාතික ශූරතාව දිනාගත් සිවුවැනි අවස්ථාව මෙය වූ අතර මින් පෙර 2018, 2021 සහ 2022 යන වසරවලදීද ඇය ජාතික ශූරිය බවට පත්ව ඇත. 
 
බුද්දීපනී රාජගුරු සමග එක්ව කාන්තා යුගල ඉසව්වට සහභාගි වූ බිමන්දි, එහි අවසන් මහ තරගයේදී තියුණු සටනකින් අනතුරුව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ තමාදි කාවින්ද්‍යා සහ සිනෙත්මි තෙසන්‍යා හමුවේ වට 3-2 ක් ලෙස පරාජයට පත් වූවාය. කෙසේ වුවත් විවෘත කේවල ඉසව්වේදී වට 4-1 ක් ලෙස තමාදි කාවින්ද්‍යා පරාජය කළ බිමන්දි, මෙම වසරේ (2023) මේසපන්දු ජාතික ශූරතාව තමන් සතුකර ගත්තාය. 

මේ අතර තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට 99එක්ස් ටෙක්නොලොජීස් ආයතනයේ සුපුන වරුසවිතාන සමත් වූ අතර එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 4-2 ක් ලෙස එම්ජේ පුද්ගලික සමාගමේ ප්‍රසාද ද සිල්වා පරාජය කරමින් ඔහු මෙම වසරේ ජාතික ශූරයා බවට පත්විය. සුපුන මේසපන්දු ජාතික ශූරතාවක් දිනාගත් පළමු අවස්ථාවද මෙය විය. 

මාස් සමූහ ව්‍යාපාරයේ නිර්මල ජයසිංහ සහ මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සංගමයේ දිනේෂ් කවිෂ්ක අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ නුවන්ත නිරේෂණ පරාජය කරමින් පිරිමි යුගල ශූරතාව දිනාගත්හ. නාවික හමුදාවේ නිමේෂ් රංචාගොඩ සහ හංසනී පියුමිලා මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීවේ තියුණු සටනකින් අනතුරුව වට 3-2 ක් ලෙස නුවන්ත නිරෝෂන සහ යුද හමුදාවේ කසුනි පිටිගල පරාජය කරමිනි.
 
හේලීස් සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ පැවැති පැවැති මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 144 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 88 දෙනෙක් සහභාගි වූහ.

තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 


තරග ප්‍රතිඵල 

විවෘත පිරිමි කේවල 
සුපුන වරුසවිතාන (99එක්ස් ටෙක්නොලොජීස් අයතනය) විසින් වට 4-2 කින් ප්‍රසාද් ද සිල්වා (එම්ජේ පුද්ගලික සමාගම) පරාජය කරන ලදි. 

විවෘත පිරිමි යුගල 
නිර්මල ජයසිංහ (මාස් සමූහ ව්‍යාපාරය) සහ දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සංගමය) විසින් වට 3-0 ක් ලෙස චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ නුවන්ත නිරෝෂණ (සබරගමුව විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදහ. 

විවෘත කාන්තා කේවල 
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුල් බාලිකා විදුහල) විසින් වට 4-1 ක් ලෙස තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. 

විවෘත කාන්තා යුගල
තමාදි කාවින්ද්‍යා සහ සිනෙත්මි තෙසන්‍යා (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල) විසින් වට 3-2 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුල් බාලිකා විදුහල) සහ බුද්දීපනී රාජගුරු පරාජය කරන ලදහ. 
 
විවෘත මිශ්‍ර යුගල 
නිමේෂ් රංචාගොඩ සහ හංසනී පියුමිලා (නාවික හමුදාව) විසින් වට 3-2 ක් ලෙස නුවන්ත නිරෝෂන සහ කසුනි පිටිගල (යුද හමුදාව) පරාජය කරන ලදහ. 


අදහස් (0)

බිමන්දි සිවුවැනි වරටත් ජාතික ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.