Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි සම්මේලනයේ මුල් පුටුව වෛද්‍ය අමල්ට

පාපැදි සම්මේලනයේ මුල් පුටුව වෛද්‍ය අමල්ට

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා තේරී පත්විය. ඒ වසර 2017 දක්වා වසර දෙකක කාලයක් වෙනුවෙනි.

කොළඹ පාපන්දු නිවසේදී ඊයේ (13 වැනිදා) පැවැති නිලවරණයේදී විශේෂ සිදුවීම වූයේ සභාපති ධුරයට තරග වැදුණු වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා හා කපිතාන් ආර්. සී. එන්. රත්නායක මහතා ඡන්ද 51 බැගින් සම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්හ. එබැවින් එම අවස්ථාවේ මූලාසනයේ සිටි පාපැදි සම්මේලනයේ හිටපු ලේකම් ගෲප් කපිතාන් සුජීවන් සේනාරත්න මහතා සිය තීරක ඡන්දය වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට පක්ෂව දීමෙන් මෙවර පාපැදි මුල් පුටුවට වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පත්විය.

ඡන්දය සමවීමෙන් පසු එකඟතාවයෙන් තීරණයක් ගැනීමට ඔවුන් දෙදෙනාටම අවස්ථාව දුන් නමුත්, එය අසාර්ථකවීමෙන් පසු තීරක ඡන්දයෙන් සභාපති තෝරාගැනීමට තීරණය විය.

කෙසේ වුවත් පසුව කපිතාන් රත්නායක මහතා ඊට විරෝධය පළ කරමින්, නිලවරණය අතරමගදී සභාවෙන් පිටව ගිය අතර, ඒ සමග ඔහුට පක්ෂ සංගම් හා ක‍්‍රීඩා සමාජ කීපයක නියෝජිතයෝ ද සභාවෙන් පිටව ගියහ.

නව සභාපති ධුරයට පත් වෛද්‍ය අමල් හර්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසත්, සුවඳ විලවුන් හා ඖෂධ අධිකාරියේ සභාපතිවරයා ශ්‍රී ලංකා වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ලේකම් ධුරය සඳහා පැවැති ඡුන්ද විමසුමේදී ලීලාරත්න මහතාට පරාජය වූයේ ඇන්ටන් ගුණතිලක (74 - 17) මහතාය. උප සභාපති තනතුරු හතක් සඳහා පැවැති ඡුන්ද විමසුමේදී සමන්ත වීරසිංහ, සුමිත් බාලසූරිය, නන්දන බණ්ඩාර, ජෝර්ජ් රුද්‍රිගු, ටී. එම්. පී. කුමාරිහාමි යන මහත්ම මහත්මීහු පරාජයට පත්වූහ.

වසර 10කට පසු පාපැදි පරිපාලනයට පිවිසි සේනක රණසිංහ මහතා උප සභාපති ධුරයක් දිනාගැනීම මෙහිදී කැපී පෙනුණි.

උෂාන් කෝදාගොඩ මහතා වැඩි ඡුන්ද 26කින් පරාජයට පත් කරමින් භාණ්ඩාගාරික ධුරය සඳහා පත්වූයේ උපාලි රත්නායක මහතාය.

ටී.එම්.පී. කුමාරිහාමි මහත්මිය පරාජයට පත් කරමින් උප ලේකම් ධුරයට ලූතිනන් කර්නල් රංජිත් ජයසිංහ මහතා පත්විය.

එහිදී උපුල් චන්දන, අනිල් රත්නසිරි හා විල්මන් පෙරේරා යන මහත්වරු එම තනතුරට ඉදිරිපත් කර තිබූ නාමයෝජනා ඉවත්කර ගත්හ.

සභාපති ධුරය සඳහා පැවැති ඡුන්ද විමසුමේදී සමවීමත් සමග මෙවර පාපැදි නිලවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, සභාවේ විටින් විට නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවූ බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලය
සභාපති:- වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා (ඡන්ද 52)
ලේකම්:- ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා (74)
භාණ්ඩාගාරික:- උපාලි රත්නායක මහතා (41)
උප සභාපතිවරු (7):- බි‍්‍රගේඩියර් එම්.ඒ.ඒ. සිරිනාග (52), නිහාල් කුලසේකර (41), ඞී.එල්.එස්. ප‍්‍රියශාන්ත (39), සේනක රණසිංහ (38), සුජිත් සමරතුංග (34), ලෙස්ලි රූපසිංහ (22) හා විල්මන් පෙරේරා (21) යන මහත්වරු
උප ලේකම්:- ලූතිනන් කර්නල් රංජිත් ජයසිංහ මහතා (46)

..


අදහස් (0)

පාපැදි සම්මේලනයේ මුල් පුටුව වෛද්‍ය අමල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.