Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට ප්‍රතිපාදන

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට ප්‍රතිපාදන

editorial - 2025 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල (2028) ඉලක්ක කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්හ කළ ඔලිම්පික් දැක්ම - 2028 වැඩ සටහන යටතේ ක්‍රීඩකයන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන් රැසකට ප්‍රතිපාදන ප්‍රදානය කිරීම ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදී වැඩසටහනට නිර්දේශ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් අයෙකුට රුපියල් 150,000 සිටත් පූහුණුකරුවෙකුට රුපියල් ලක්ෂයක් වන පරිදිත් වන මාසික දීමනාවක් බැගින් වසර 2028 දක්වා ප්‍රදානය කෙරේ. එහිදී පළමු පියවර යටතේ ක්‍රීඩා ඉසව් කීපයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලබයි.  

2028 වසරේදී ඇමැරිකාවේදී පැවැත්වීමට නියමිත (ලොස් ඇන්ජලීස්) ඔලිම්පික් උළෙල දක්වාය. එහිදී වැඩසටහනට ඇතුළත් එම සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව රුපියල් 60,000 ක් වන පෝෂණ දීමනාවක් බැගින්ද හිමිවේ.

රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති වැඩ සටහන දියත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ කැබිනට් පත්‍රිකාවකින් අනුමත කර ගත් ඔලිම්පික් - 2028 දැක්ම වැඩ සටහන සදහා වැය කෙරෙන්නේ  ජනතාවගේ බදු මුදල් බැවින් ඊට සාධාරණයක් කිරීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වගකීමක් බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසුවේ අපිළිවෙලට වැඩ කරන ජාතික ක්‍රීඩා සංගම් මෙරටට පිළිලයක්වී ඇති බවයි. එහිදී විදෙස් තරග සංචාර සහ ඒවාට වීසා ඇයැදුම් කිරීමේදී අවම වශයෙන් දින 21 කට කළින් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් නොකිරීමෙන් පැන නැගෙන ගැටළු වලට මින් ඉදිරියට ක්‍රීඩා අමාත්‍යාංශය වගකීම් නොදරන බවයි.

මෙහිදී කාණ්ඩ හතරක් ඔස්සේ ක්‍රීඩක  ක්‍රීඩිකාවන්ට ප්‍රතිපාදන හිමිවේ.

පළමු කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට රුපියල් 150,000 ක් ද, ඔවුන්ගේ පුහුණුකරුවෙක් සඳහා රුපියල්  100,000 ක දීමනාවක්ද,  දෙවැනි කාන්ඩයේ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට රුපියල් 100,000 ක් ද, ඔවුන්ගේ පුහුණුකරුවෙක්  සඳහා රුපියල්  65,000 ක් ද , තෙවැනි කාණ්ඩයේ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් සඳහා රුපියල්  75,000 ක්ද ඔවුන්ගේ පුහුණුකරුවෙකුට රුපියල් 50,000 ක්ද හා සිව් වැනි කාණ්ඩය ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් සඳහා රුපියල් 50,000 ක්ද සහ ඔවුන්ගේ පුහුණුකරුවෙකුට  රුපියල්  30,000 ක් බැගින්ද වන දීමනාවක් හා සියළුම කාන්ඩයන්හී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  රුපියල් 60,000 ක පෝෂණ දීමනාවක් බැගින්ද මාසිකව ප්‍රදනය කෙරෙයි.

ඔලිම්පික් - 2028 දැක්ම සංචිතය මාස හයකට පසුව පසු විපරමක් කරමින්  ප්‍රගති සමාලෝචනයක් සිදු කිරීමට එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. එහිදී එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂාවන්ට ලක් කිරීමටත් එහිදී සිදු කෙරේ.

සංචිතයේ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර දැනුම හා නවීන තාක්ෂණික උපකරණ මගින් පුහුණුව ලබා දීමට සැළසුම් කර ඇතැයිද මෙම අවස්ථාවට සහභාගි වූ ක්‍රීඩා  නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා පැවැසීය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ශ්‍රියානි කුලවංශ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා) අයි.පී. විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ මේ වන විට  ක්‍රියාකාරීව පසු වන ජේය්‍යෂ්ඨතම මලල ක්‍රීඩිකාව වන 38 හැවිරිදි නදීෂා දිල්හානී ලේකම්ගේ ඔලිම්පික් - 2028 දැක්ම වැඩ සටහනට එක් වෙමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් ප්‍රතිපාදන ලබා ගත් අයුරු...ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බන්ඩාර මහතාද මෙහි වෙයි.

 


අදහස් (0)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට ප්‍රතිපාදන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.