Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ සම්මේලනයේ ලේකම් නෙරපයි

එල්ලේ සම්මේලනයේ ලේකම් නෙරපයි

editorial - 2023 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ලේකම් නන්ද කුමාර ගුණවර්ධන මහතා තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කිරීමට එහි විධායක සභාව පියවරගෙන තිබේ. විනය විරෝධී කටයුත්තක් පිළිබඳව චෝදනා නගමින් ඔහු ධුරයෙන් ඉවත් කර තිබෙන අතර එහිදී ඔහු විනය කමිටුව හමුවට කැඳවීමටද එල්ලේ සම්මේලනයේ විධායක සභාව තීරණයකර තිබේ.

ඒ පිළිබඳව ‘ලංකාදීප’ ය කළ විමසුමකදී නන්දකුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ තමන් තාවකාලිකව ලේකම් ධුරයේ කටයුතුවලින් වැළකී සිටින බවත් මඩකලපුවේදී මුදල් අයකර සරසවි සිසුන් වෙනුවෙන් සූදානම් කරමින් සිටි එල්ලේ වැඩමුළුවක් පිළිබඳව සම්මේලනයේ විධායක සභාව දැනුවත් නොකළ බවට තමන්ට චෝදනාවක් එල්ලකර තිබෙන බවයි.

එසේ වූයේ එය පැවැත්වීම සම්බන්ධයෙන් නිල වශයෙන් තීරණය කර නොතිබූ නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය. හිටපු විදුහල්පතිවරයකු වන නන්ද කුමාර ගුණවර්ධන මහතා ජාඇල උදම්මිට ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.

කෙසේ වුවත් ඔහුගේ ඉවත් කිරීමෙන් වැඩබැලීම සඳහා පත් කර ඇත්තේ සම්මේලනයේ උප භාණ්ඩාගාරික යක්කඩුව රන් දේදුණු ක්‍රීඩා සමාජයේ හෂාන් ප්‍රියංකර මහතායි. එම පත් කිරීම සිදුකර ඇත්තේ සම්මේලනයේ උපලේකම්වරුන් තිදෙනකුම කටයුතු කරමින් සිටින අතරය.

ප්‍රධාන ලේකම්වරයාගේ සේවය අත්හිටුවීමේ තීරණය ගනු ලැබූ එල්ලේ සම්මේලනයේ පැවැති විධායක සභා රැස්වීමේදී තවත් තීරණ කීපයකටම පැමිණ තිබේ.

ඒ ‘එල්ලේ’ ක්‍රීඩාවේ නමින් පවත්වාගෙන යන සියලුම එල්ලේ විනිසුරු සංගම් විසුරුවා හැරීමට තීරණය කිරීමයි. සංවිධානාත්මක පිරිස් විසින් එල්ලේ සම්මේලනයේ නාමය අවභාවිතා කරමින් ව්‍යාජ විනිසුරු පාඨමාලා පවත්වමින් අනිසි ආකාරයෙන් මුදල් හම්බ කිරීම පිළිබඳව එහිදී චෝදනා එල්ලවී තිබීම මෙම ක්‍රියාමාර්ගයට හේතු බව එල්ලේ සම්මේලනය අවධාරණය කරයි.

ඒ පිළිබඳව තොරතුරු වේ නම් සම්මේලනයේ ජාතික සංවිධායක චාමර සේරසිංහ හෝ සහකාර සභාපති ලසන්ත පෙරේරා යන මහත්වරුන් දැනුවත් කරන ලෙසත් එහිදී එල්ලේ සම්මේලනය ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාව තේරී පත්වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් කැඳවූ නිලවරණයේ දී (2023-25) ක්‍රීඩා සමාජ 12 ක් පමණක් සහභාගීවූ මහසභා රැස්වීමකදීය.

කෙසේවුවත් මේ දක්වා පැවැති වාර්ෂික ජාතික එල්ලේ ශූරතා තරගාවලි සඳහා එහි ලියාපදිංචි ක්‍රීඩා සමාජ 150 ට වැඩි ගණනක් සහභාගී වී තිබේ. මෙරට ප්‍රකට දේශපාලනඥයන් රැසක් මුල් පුටුව හෙබවූ එල්ලේ සම්මේලනයේ වත්මන් සභාපතිවරයා වන්නේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන නාමල් සුරංග මහතා ය.


අදහස් (0)

එල්ලේ සම්මේලනයේ ලේකම් නෙරපයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.