ලෝක කුසලාන දැල් පන්දු ශූරතාවලියේදී ආසියාවේ වඩාත්ම අවධානය දිනා ගන්නා ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර මූලික වටයේ තරඟය 7 වැනිදා පැවැත්වේ.
රටවල් 16ක් සහභාගි වන 14 වැනි ලෝක කුසලාන දැල්පන්දු ශූරතාවලිය ඕස්ටේ‍්‍රලියාවේ ”සිඩ්නි” නුවරදී 7 වැනිදා ආරම්භ වේ. සිඩ්නි වේලාවෙන් පෙරවරු 11.50 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.20) ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරඟය පැවැත්වේ.
සිඞ්නි ” ඕලිම්පික්” ක‍්‍රීඩා සංකීර්ණයේදී මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරඟාවලිය පැවැත්වේ.
ශ්‍රී ලංකාව මූලික වටයේ පළමු තරඟයට හෙට සහභාගි වන අතර පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලියෙන් පසු ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අන්තර්ජාතික තරඟයකදී මුණගැසෙන පළමු අවස්ථාව මෙයයි.
ආසියානු ශූරතාවලියේ දැල්පන්දු අවසන් මහ තරඟයේදී ලකුණු 59-41කින් සිංගප්පූරුව විසින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී. ඒ අනුව 7 වැනිදා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව මුණගැසෙන්නේ ආසියාවේ දැල්පන්දු ශූරියන් හා අනුශූරියන් ලෙසිනි.
හෙට තරඟයේ ප‍්‍රතිඵලයෙන් පසු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අත්කර ගෙන තිබෙන තත්ත්වය පිළිබඳව අලූත් තක්සේරුවකට පැමිණිය හැකිය.
එබැවින් ශ්‍රී ලංකාව මෙවර ලෝක ශූරතාවලියේදී මුහුණ දෙන වඩාත්ම තීරණාත්මක තරඟය බවට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර තරඟය පත්ව තිබේ.
එහිදී තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකාව අවසන් වරට (2011) පැවැති ලෝක කුසලාන ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරඟයකදී සිංගප්පූරුව ලකුණු 62-51කට පරාජයට පත් කිරීමට සමත් වීමය.
සිංගප්පූරුව සත්කාරය දැරූ පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව අත්කර ගත් ප‍්‍රතිඵල දෙස බැලීමේදී ශ්‍රී ලංකාව මූලික වටයේ තරඟ තුනෙන්ම උතුරු අයර්ලන්තය (56-65), සමෝවා (53-57) හා ලෝක ශූරයන් වූ ඕස්ටේ‍්‍රලියාව (20-97) හමුවේ පරාජයට පත්විය.
කෙසේ වෙතත් ශ්‍රේණිගත තරග වටයේදී සිංගප්පූරුව හැරෙන්නට බාබඩෝස් කණ්ඩායම පරාජයට පත් කිරීමටද (63-59) ශ්‍රී ලංකාව සමත් විය.
එවර ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිණිය වූයේ හයිසින්ත් විජේසිංහ මහත්මියයි.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කරන දීප්ති අල්විස් මහත්මිය වසර 1995 පැවැති ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ක‍්‍රීඩිකාවයි. දීප්ති අල්විස් මහත්මියගේ දියණිය වන සේමිනි අල්විස් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නීය. ලෝක කුසලාන දැල්පන්දු තරඟ ඉතිහාසයේ මෙතෙක් මව හා දියණිය කණ්ඩායමක ප‍්‍රධාන පුහුණුකාරිය හා නායිකාව ලෙස කටයුතු කරන පළමු අවස්ථාව එය ලෙස සැලකේ.
කෙසේ වුවත් පසුගිය ලෝක කුසලාන තරඟාලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ දර්ශිකා අබේවික‍්‍රම, චතුරංගනී ජයසූරිය, විරාජි චාමරිකා හා තිසාලා අල්ගම මෙවරත් ශ්‍රී ලංකා පිල නියෝජනය කරති.
ලෝක දැල්පන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 24 වැනි ස්ථානයේ පසුවන අතර සිංගප්පූරුව රැඳී සිටින්නේ 17 වැනි ස්ථානයේයි.
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.