Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අවුරුදු තුනකින් ශ්‍රී ලංකාවට ඡාත්‍යන්තර තරග නෑ

අවුරුදු තුනකින් ශ්‍රී ලංකාවට ඡාත්‍යන්තර තරග නෑ

editorial - 2022 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දේශීය පාපැදි ක්‍රීඩා පරිපාලනයේ උද්ගතව පවතින ආරවුල්වලට විසඳුමක් නොලැබීමෙන් ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික පාපැදි ක්‍රීඩා තරග සහභාගිත්වය වසර 2020 සිට ඇණහිට තිබේ.

ඒ හේතුවෙන් මෙරට පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ වනවිට වසර දෙකක් තිස්සේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය අහිමි වී ගොස් තිබේ. වසර 2019 උස්බෙකිස්ථානයේදී පැවැති ආසියානු පාපැදි ශූරතා තරගාවලියට සහභාගිවීමෙන් පසුව ශ්‍රී ලංකාවට මේ දක්වා ආසියානු පාපැදි ශූරතා තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාවද ඒ හේතුව නිසාම අහිමිව ගොස් තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට වසර 2019 (දෙසැම්බර්) කත්මණ්ඩු නුවරදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවීමෙන් පසුව මෙතෙක් පිළිගත් ජාත්‍යන්තර පාපැදි තරගාවලියකට සහභාගි වී නොමැත.

සාග් ක්‍රීඩා පාපැදි තරගාවලියේදී ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් හය දෙනකු හා ක්‍රීඩිකාවන් සිවු දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කළේය. එහිදී රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හතරක් ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.

කෙසේ වුවත් සාග් ක්‍රීඩා උළෙලකදී එතෙක් ශ්‍රී ලංකාව අඛණ්ඩව දිනාගෙන ආ පාපැදි රන් පදක්කම් පළමු වතාවට ශ්‍රී ලංකාවට අහිමි විය. මෙම නේපාල තරග සංචාරයේදී එක් මවුන්ටන් ඉසව්වකින් ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීමෙන් මෙරට පාපැදි සම්මේලනයට තරග පාවාදීමේ චෝදනාවක්ද එල්ල විය.

2019 අප්‍රේල් මාසයේ උස්බෙකිස්ථානයේදී පැවැති ආසියානු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් සිවු දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කළේය. ශ්‍රී ලංකාව වසර 2018 ‘ගෝල්ඩ්කෝස්ට්’ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලටද ක්‍රීඩකයන් දෙදෙනකු සහභාගි කිරීමට සමත්ව  තිබේ.

2018-20 කාලසීමාව තුළදී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පාපැදි  සම්මේලන පරිපාලනය තුළ අන්තර් ජාතික පාපැදි තරග මාලා ගණනාවකටම ශ්‍රී ලංකාව සහභාගි වී තිබේ.

කොරියාවේදී  පැවැති ඩී.එම්.එස්. පාපැදි සවාරියටද ශ්‍රී ලංකාව කනිෂ්ඨ ජාතික කණ්ඩායමක් සහභාගි කර තිබේ. එය ජාත්‍යන්තර කනිෂ්ඨ පාපැදි සවාරියකට ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු අවස්ථාද වේ.

මේ අතර 2019 මැයි මාසයේදී චීනයේ ‘තයිසුවාන්’ නුවරදී පැවැති ජාත්‍යන්තර පාපැදි (කාන්තා) සවාරියට ක්‍රිඩිකාවන් හයදෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කර තිබේ. එය ශ්‍රී ලංකා කාන්තා පාපැදි කණ්ඩායමක් ජාත්‍යන්තර කාන්තා පාපැදි සවාරියකට සහභාගි වූ පළමු අවස්ථාව ලෙසද පාපැදි සම්මේලනය හඳුන්වාදී තිබේ.

ඒ හැරෙන්නට මෙරට ක්‍රීඩා සමාජ කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර තරග සංචාර අත්දැකීම් ලබාදීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලන පාලනය (2018-20)කටයුතු කළේය.

පිලිපීනයේදී පැවැති තරග සංචාර දෙකකට නාවික හමුදා හා ගුවන් හමුදා කණ්ඩායම්ද, මලයාසියාවේ පැවැති සංචාරයකට යුද හමුදා කණ්ඩායමද පාකිස්තානයේදී පැවැති තරග සංචාරයකට වරාය අධිකාරි කණ්ඩායමද සහභාගිවීමෙන් මෙරට ක්‍රීඩකයන් 23 දෙනකු ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා තිබේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය වසර තුනක් තිස්සේ  ඇණහිටීමට බලපෑ ප්‍රධානතම කාරණාව ලෙස පෙන්වා දිය හැක්කේ ශ්‍රී ලංකාව වසර 2020 සිට අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සාමාජිකත්වයෙන් ඉවත්කර සිටීමය.

ඒ එතැන් සිට පැවැති ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයන්ට ක්‍රීඩා අමාත්‍යාංශය අතපෙවූ බව චෝදනා කරමිනි. අන්තර් ජාතික පාපැදි සම්මේලනය අදටත් මෙරට පාපැදි පරිපාලනයේ (2018-20) නිල ප්‍රධානියා ලෙස පිළිගන්නේ එහි හිටපු සභාපති අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාය. එහෙත් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය නිල පිළිගැනීම ලබාදී ඇත්තේ පසුව වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සභාපති ධුරයට පත්වූ පාපැදි සම්මේලන පරිපාලනයයි.


අදහස් (0)

අවුරුදු තුනකින් ශ්‍රී ලංකාවට ඡාත්‍යන්තර තරග නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.