Last Update  :  2025-12-12 12:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අවුරුදු 13න් පහළ චෙස් ක්‍රීඩිකාවන් අතර ලෝකයේම අංක 1 ඔෂිනි දේවින්ද්‍යාට

අවුරුදු 13න් පහළ චෙස් ක්‍රීඩිකාවන් අතර ලෝකයේම අංක 1 ඔෂිනි දේවින්ද්‍යාට

editorial - 2025 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ලෝකයේ අවුරුදු 13න් පහළ වයස කාණ්ඩයට අයත් චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයට පත්වෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන සමත්වූවාය.

ලෝක චෙස් සම්මේලනය විසින් ලොව අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ නවතම වාර්තාව අනුව පළමු ස්ථානයට (ප්‍රසාද ලකුණු  - 2272) පත්ව සිටින දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන

තමන්ට වඩා වයස්ගත ක්‍රීඩිකාවන් ද අයත්වන ලොව අවුරුදු 20න් පහළ චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව 42 වැනි ස්ථානයේ පසුවීමද විශේෂත්වයකි. මෙවැනි දක්ෂතාවයක් දැක්වූ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම කනිෂ්ඨ චෙස් ක්‍රීඩිකාව බවට පත්ව සිටින ඔෂිනි ගුණවර්ධන 2021 වසරේ සිට අඛණ්ඩව දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රාශියක් හිමිකර ගනිමින් මෙම ශ්‍රේණිගත ස්ථානයට ළඟා වූවාය

2024 වර්ෂයේදී පැවැති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී අවුරුදු 12න් පහළ ඉසව්වේදී රන් පදක්කම දිනාගත් ඔෂිනි ගුණවර්ධන ආසියානු මට්ටමේ විවිධ තරගාවලීන්හිදී රන් සහ රිදී පදක්කම් රැසක් දිනාගනිමින් මව්බිමට කීර්තියක් අත්කරදී ඇත.

ශ්‍රී ලංකාවේ ළාබාලතම ක්‍රීඩිකාවන් අතර ‘ඉන්ටර්නැෂනල් මාස්ටර්‘ තත්ත්වය හිමිකරගෙන සිටින ඔෂිනි,  මෙරට චෙස් ක්‍රීඩාවේ වාර්තා රැසකට හිමිකම් කියන්නියකි. රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයෙන් චෙස් ක්‍රීඩාවට එක්වූ ඔෂිනි, වර්තමානයේදී කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන්නීය. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චෙස් පුහුණුකරුවකු වන අකිල කාවින්ද මහතා යටතේ ඔෂිනි ගුණවර්ධන පුහුණුව ලබන්නීය.

ඇය චෙස් ක්‍රීඩාවේ අද්වීතීය පදවියක් වන ‘ග්‍රෑන්ඩ් මාස්ටර්‘ බවට පත්වීමේ අරමුණින් යුතුව චෙස් ක්‍රීඩාවේ නියැළෙන්නියකි.


අදහස් (0)

අවුරුදු 13න් පහළ චෙස් ක්‍රීඩිකාවන් අතර ලෝකයේම අංක 1 ඔෂිනි දේවින්ද්‍යාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.